2012/02/03

තඩි බළලෙකුට එරෙහිව..........!

                                 
                                   

                                                      කුඩා රොජර් තම නිවසේ උස් බිත්තියට මුවා වී තම විරුද්ධවාදියා වූ තඩි බළලාට ගලක් මානමින් සිටියේය. භාජන ගැටෙන ශබ්දයෙන් තම මව කුස්සියේ සිටින වග ස්ථිර කර ගත් රොජර් තම භාරදූර කටයුත්ත මෙවරවත් සාර්ථක  කර ගැනීම සඳහා හොඳින් කාල වේලාව ගෙන, අවධානයෙන් හා නිශ්ශබ්දව සිටීමට අදිටන් කර ගත්තේය. බළලා තමා එහි සිටින බව නොදනී යැ'යි සපථ කර ගත් ඔහු, සීරුවෙන් බිත්තියෙන් මෑත් වී තම ප්‍රහාරක හස්තය උරහිසට උඩින් පිටුපසට ගනිත් ම නිතර දැඩි අවධානයෙන් සිටින බළල්  තඩියා එම චලනයට දෙනෙත් යොමු කළේ ය. ඒ සමග ම වේගයෙන් ඉදිරියට ගිය රොජර් ගේ අතින් වෙඩි උණ්ඩයක් සේ  නිදහස් වූ ගල් කැටයට එරෙහිව උඩ පිනූ සිවුපාවා දුවන්නට විය.
                                   තඩි බළලා ගේ සතර පා අතරින් බිම වැදුනු ගල නැවත වරක් උඩ විසි වී බිම දිගේ රෝල් වී නිශ්චල විය. රොජර් ක්ෂණිකව පහත් වී තවත් ගල් කැටයක් අතට ගත්ත ද ඒ වන විට ඔහුගේ ප්‍රතිවාදියා වාෂ්පයක් සේ අතුරුදන්ව සිටියේ ය. අත තිබූ ගල ඈතට වීසි කළ රොජර් දහසක් බලාපොරොත්තු කඩවූවෙකු ගේ ස්වභාවයෙන් නැවත හැරුණේ, ඉදිරිපස දොරෙන් ඇතුලට ගොස් තම කාමරයට වැදුණේ ය.
                                    ඇඳ මත වැතිරුණු රොජර් තම සටන කෙසේ හෝ ජය ගැනීමේ පරමාර්ථය ඔස්සේ ඔහු ගේ සිතිවිලි දාමය මෙහෙයවන්නට විය.එලෙස අවසානයේ දී තම බුද්ධිය පාවිච්චියට ගැනීමට ළමයා තීරණය කළ අතර ඔහු ගේ දඟකාර කුඩා මොළයට විවිධ අදහස් ගලා එන්නට විය. බොහෝ වේලාවකට පසු සියලු අදහස් අතරින් එකක් තෝරාගත් ඔහු එය කෙසේ හෝ ක්‍රියාත්මක කරන්නට සිතුවේ ය.  කුමක්ද ඒ අදහස? ඔව්! ඔහු උගුලක් ඇටවීමට යයි. රොජර් තම සංග්‍රාමයේ රහස්‍ය සැලසුම් මෙසේ සකසද්දී ඔහු ගේ දක්ෂ කුඩා සතුරා මේ කිසිවක් නොදැන ආරක්ෂා සහිත ස්ථානයක ගුලි වී තද නින්දක ගැලී විවේක සුවය විඳිමින් සිටියේ ය.
                                     පසුදින රොජර් අවදිවන විට ඔහුගේ කුඩා කාමරය උදා හිරු කිරණින් ආලෝකමත් වී තිබුණේ ය. කම්මැලි කමින් යුතුව ඇඳෙන් නැගිටගත් රොජර් තම සාමාන්‍ය කටයුතු අහවර කිරීමෙන් පසු මිදුලට බැස්සේ ය. තම මිදුල අඳුරු වන සේ  වැවුණු රූස්ස ගස් පෙල දෙස ඔහු මොහොතක් බලා සිටියේ ය. එහි සුන්දරත්වයෙන් ප්‍රබෝධමත් වුණු ළමයා මොහොතකින් සිය අලස කම් අත්හැර දමා වේගයෙන් දුවගොස් මනාව අතු වැඩුණු අඹ ගසකට නැග ගත්තේ ය. එහි සුව පහසු දෙබලක ඇණ තියාගත් ඔහු වළාකුලින් පිරි නිල් අහස දෙස බලා සිටියේ ය. මිදුල වසා පැතිරුණු විසල් ගස්වල අතු අතරින් රිංගා ආ ළහිරු රැස් ඔහුගේ මුහුණ මත පතිත විය. එම හිරු රැස් පහස විඳිමින් වටපිට බලමින් සිටි රොජර්ට තරමක් දුරින් පිහිටා තිබූ තණ නිල්ල අසල චලනය වන යමක් ඇස ගැසුණි. නෙත් විදහා එදෙස බැලූ ඔහු තම සටනේ පළමු අදියර ක්‍රියාත්මක කිරීමට අවස්ථාව පැමිණ ඇති බව වටහා ගත්තේ ය. මන්ද යත් ඔහුගේ ප්‍රතිවාදියා තම සියුම් අඩි සටහන් මෘදු පොළොවේ ඔබ්බවමින් නිහඬව ඉදිරියට එමින් සිටියේ ය. රොජර් ද පරිසරය හුරු පුරුදු දකුණු ඇමෙරිකානු වනචාරියෙකු මෙන් නිහඬව තමා නැග සිටි ගසින් බිමට බැසගත්තේ ය. තමා පමණක් දන්න උපාය ක්‍රියාත්මක කිරීමට ඔහු බිළාලයා එන මග රැක සිටියේ ය. අඩි පාරේ වංගුවෙන් ප්‍රතිවාදියා මතු වනු දකිත් ම ඔහු තම ක්‍රියාදාමයට සූදානම් විය.
                                     වංගුවෙන් හැරුණු වහා ම තම නිසල සතුරා බළලා විසින් දකින ලද්දේ ය. පවනේ හමා යන පුලුන් රොදක් සේ ගමන් කරමින් සිටි ඌ එසවූ පය බිම නොතබා මොහොතක් බලා සිටියේ ය. සතුරා ගේ චලනයක් නොමැති බව නිරීක්ෂනය කිරීමෙන් පසු බළලා තව අඩි කීපයක් පෙරට ආවේ ය. සතුරා නිසල බව දුටුවත් උගේ සැකය අඩු නොවී ය. එහෙත් පසු බැස යාමට තරම් නිවට සිතක් ද බළලා සතු නොවී ය. එබැවින් ඌ තව අඩි කීපයක් පෙරට ආවේ ය.  බළලා දැන් රොජර්ට ඉතා ආසන්න ය. මේ වන විට රොජර් සූදානම්ව සිටිය යුතු වූවත් එවැන්නක් නොපෙනුණු අතර තම ප්‍රවේසම ගැන සැළකූ බළලා රොජර්ට අඩි කීපයක් දුරින් පවනට බඳු වේගයෙන් දිව ගියේ ය. ඌ නොපෙනී ගිය පසු ළමයා තමා සිටි ගසට නැවත නැග ගත්තේ ය. එසේ නම් ඔහුගේ උපාය කුමක් ද? ඔහු බළලා රැවටීමට යයි.
                                      ඊළඟ වතාවේ බළලා පැමිණෙන විට රොජර් නිවසේ දොර පඩිය මත නිදි කිරමින් සිටියේ ය. මෙවර ඔහු බළලා දකින්නට පෙර බළලා විසින් ඔහුව දක්නා ලද්දේ ය.  මඳක් නැවතුන සත්ත්වයා සතුරාව නිරීක්ෂනය කලේ ය. අදත් ඔහු නිසල ය. මෙවර බළලා සැක නැතිව ම ඉදිරියට පය තැබුවේ ය. එහෙත් සතුරා නොදුටු රොජර් ගේ සුළු චලනයකින් උගේ සිතට නැවතත් සැකය පැමිණියේ ය. තවත් මොහොතක් නැවතී බලා සිටි ඌ නැවත ඉදිරියට අඩියක් තබනවාත් සමගම රොජර් බළලාව දැක්කේ ය. එක් වරම ඔහු තිගැස්සී ගිය මුත් තම ඉරියව්ව වෙනස් නොකර ම සිව්පාවා දෙස බලා සිටියේ ය. මේ අතරතුර අඩියෙන් අඩිය ඉදිරියට පැමිණි බළලා මඳ වේගයකින් රොජර් අසලින් දිව ගියේ ය. ජයග්‍රහණයක සේයාවක් දුටු රොජර් සතුටින් පිනා ගියේ ය.
                                     මේ සිදුවීමෙන් පසු කිහිපවරක් ම බළලා රොජර් අසලින් දිව ගිය නමුත් උගේ මඳ වේගය තව දුරටත් අඩු නොවීම ළමයාට මහත් ගැටලුවක් වීය. වරක් බිළාලයා තමා ඉදිරියෙන් යද්දී මඳක් ඉදිරියට ගොස් බලන්නට රොජර් සිතුවේ ය. සිතුවිල්ල ක්‍රියාත්මක කරමින් අඩි දෙකක් ඉදිරියට තබත් ම  තිගැස්සුනු බළලා කොයි අතකට දිව්වාදැ'යි රොජර්ටවත් සිතා ගැනීමට නොහැකි විය. බලාපොරොත්තු සියල්ල කඩ කරගත් ළමයා තම සතුරා රැවටීම කිසිසේත් ම කළ නොහැක්කක් බව ප්‍රත්‍යක්ෂ කර ගත්තේ, වෙන බළලෙකු පසුපස යාමට තීරණය කළේ ය.


                                                             හේ! හේ! පූසා දිනුම්!


පින්තූරය ගත්තේ:   මෙතනින්

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය පුස්කොලපොතේ අලුත් පිටුවක උපතයි!

Related Posts Plugin for WordPress, Blogger...