එදා මහ මූසල අඳුරු දවසකි. කිව්වාට එහෙමත් ම නැත. හොඳින් ඉර පායා තිබුණු අතර දසතින් කුරුල්ලන් ගී ගැයුවෝ ය. නිවාඩු දවසක් වූ බැවින් උදේ පාන්දර ඇහැරුණ බට්ටා කුකුළා සමඟ කිකිළියෙකුත් අතේ රැගෙන සුද්දලා ගේ ගෙදර ගොස් සිටියේ ය. නැත්තං කුකුළාට තනිකං දෝසය හැදෙන්නට හැකි ය. හරියට ම දිනය කියනවානං ඒ 2010 දෙසැම්බර 26 ය. සුද්දාටත් නත්තල් නිවාඩු වූ බැවින් ඌත් සමඟ පච කෙලිමින්, කෙබ්බ ඇද බාමින් සිටින අතරේ පයින්ඩයක් රැගෙන කෙලගෙන ආවේ අපේ මල්ලී ය. ගෙදරින් එන්න කිව් බවක් ඌ මට කීවේ ය. හුටා තමා ය. අපේ අම්මා එන්නය කියන්නේ හොඳකට නොවන වග මම දන්නේ හෑන්ඩ් විසොන් එකෙන් ය. ඕන කෙහෙම්මලක් කියා මම ගෙදර ගියේ රතු නිවේදනය ආවොත් හිරේ යන්නට විය හැකි බැවිනි. ගෙදර යන අතරමගදී මා දැක්කේ මේසොන් හැන්දක් අතේ තියාගෙන එන බිම්මල් අයියා ය. ඌ එන්නේ අපේ ගේ දිහාට බව දුටු විට මට බ්‍රහස්පතී තාරකාව පෙනුණේ ය. අද දවසට හරි ය. ඌ යන්නේ අපේ ගේ හදන්නට ය. දැං කොරන්නට දෙයක් නැති නිසා මමත් ඌ සමඟ ගේ ඇතුලට ගියෙමි.
බිම්මල් අයියා හදන්නට වඩා කඩන්නට දස්සයා ය. ඒ නිසා ඌ මුලින් ම අපේ ගෙයි පිටිපස්ස කඩන්නට සිතුවේ ය. වැඩේ ලේසි නැත. තිබුනේ අඩි 4ක් දිග, 4ක් පළල, අඟල් 5ක් උස කොන්කිරීට් ලෑල්ලක් බිම දාන්නට ය. එවැන්නක් දැක නැති අය සිටීනම් සොයාගෙන ඔසවා බලා මේක කියවිය යුතුය. හීනෙන් හෝ එසවිය යුතුය. පැය ගානක් කැරකී, ඇඹරී, එල්ලී, කටුවෙන් කොටා, මිටියෙන් තලා ආදී වසයෙන් දුක් විඳ බිම්මල් අයියා විසින් බිත්ති දුර්වල කල පසු තිබුනේ අඩි 8ක උසකින් කොන්කිරීට් එක බිම දාන්නට ය. වහලය උඩට නැග ගත් අපි දෑතින් ද දෙපයින් ද කකුලෙන් ද තල්ලු කරමින් දේපල හානි වලින් තොරව එය බිම දමා ගත්තෙමු. දැන් එය තියෙන්නේ බිත්ති බඳින තැන බිම ය. බිම්මල් අයියාගේ වැඩ එහෙම ය. ඌ හොඳට ම දන්නේ වැඩ දෙක කර ගැනීමේ කලාව ය. මෙහෙම හිටියාට මම ඌටත් වඩා හොඳට ඒක දනිමි.
මේ අතර අපේ අම්මාට ලෑල්ල එහෙම් පිටිම්ම ගන්න ඕනෑ විය. මොන මඟුලකටදැ'යි බැලූ විට දැනගන්නට ලැබුනේ වලං හෝදන්නට බව ය. දැන් නිකං ගහෙන් ඇන්න එකාට ගොනා වැටුනා වාගේ ය. අපි දෙන්නා දත කාගෙන, බඩ ගාගෙන, උඩ දාගෙන කොන්කිරීට් එක තල්ලු කලද එය හෙල්ලෙන්නටවත් කැමති වූයේ නැත. මොනා වුනත් මට ඒකට පැරදෙන්නට බැරි ය. මම අහල පහල කැරකී තුන් දෙනෙකු ගෙන් යුත් මහා සේනාවක් එක්කාසු කරගෙන ආවෙමි. දැන් පස් දෙනෙක් සිටිති. ලෑල්ල එක පැත්තකින් උස්සා අනිත් පැත්තට පෙරලන්නට බිම්මල් අයියා සිතුවේ ය. ඌ හිතුවාට කරන්න ඕනෑ අපි ය. අත් දහය ලෑල්ලට තැබූ පසු,
2 x 5 = (4' x 4' x 5'')කොන්කිරීට් ලෑල්ලේ ආයාසයට යෙදිය යුතු බලය
යන බටු ගණිත සංකල්පයට අනුකූලව ලෑල්ල එසවෙන්නට ගත්තේ ය. කොන්කිරීට් එක පෙරලෙන්න ඔන්න මෙන්න කියා තිබියදී ගණිත සංකල්පය වැරදී ගියේ ය. ලෑල්ල එතනින් එහාට යන්නට බෑ කීවේ ය. ලෑල්ලට බැරි නං අපිට කොරන්න දෙයක් නැති ය. කරොත් කොන්කිරිට් හිමිකම් උල්ලංඝන චෝදනා යටතේ නඩු පැවරිය හැකි ය. ඒ වුනාට මම නඩු වලට බය නැති ය. බට්ටා පොඩියට හිටියාට මහා ශක්තිවන්තයෙකි. පතාක යෝධයෙකි. පොඩි කාලේ සිට උළු හාලේ බත් හා කරදමුංගු කා හැදුනෙකි. කඩේට ගොස් කිලෝ පහේ හාල් බෑග් එක කරේ තියාගෙන එන්නේ ගේමක් නැතිව ය. එහෙවු මට මේක කිරි කජු ය. අනිත් උන් එය අත අරිද්දී මම අල්ලාගෙන සිටියෙමි. එහෙත් අවාසනාවකි. උදේට කන්නට බැරි වූ බව මට අමතක වී ගියේ ය. නැත්තං එවැන්නක් සිදු නොවන බව මට සහතික ය.
වම් අත එලියේ තිබියදී දකුණේ ඇඟිලි ද එළියට ඇද ගන්නට මට හැකිවිය. නමුත් දබර ඇඟිල්ලෙන් දැවිල්ලක් ආවේ ය. මොකදැ'යි බැලූ විට එහි කුඩා හම කෑල්ලක් ගැලවී තිබෙනු පෙනිණ. අපූරු වැඩේ ඒක නෙමේ ය. මට මැද ඇඟිල්ලේ ඇතුල දැක ගැනීමට හැකිවීම ය. එම ඇඟිල්ලේ උඩ පුරුකෙන් බාගයක් නියපොත්තද සමග කොන්කිරීට් ලෑල්ල විසින් අනුභව කර තිබිණි. දැන් වීරයා වෙන්නට වෙලාව ය. අපේ වැඩ බලමින් සිටි සුපවයිසර අක්කලා තුන්දෙනෙක් ද එතන වූ බැවින් මම අත ඔසවා "ඇඟිල්ල ගියා" කීවෙමි. පට්ට ආතල් ය. අක්කලා උගුර යටින් කෑ ගසා නහයෙන් අඬන්නට ගත්තෝ ය. දැං මළ කෙළියයි ය. අම්මාට සද්දේ ඇහී ඇත. දැක්කොත් තවත් කෙළියකි. මම ඇඟිල්ල සඟවා ගත් පසු එක අක්කා කෙනෙක් අයිස් වතුර එකක් ගෙනාවා ය. ඇඟිල්ල නවා ගත් ගමන් ම අයිස් වතුර එකේ ඔබන විට අක්කා මටත් වඩා වෙව්ලමින් හිටියා ය. කෙසේ හෝ අම්මාගෙන් සඟවාගෙන අම්මා ගෙනා රෙදි කෑල්ලකින් ම ඔතාගෙන කලුබෝවිල දවස් හතරක් තැප තවත් මාස 2ක් දුක් වින්ද පසු යන්තං දැන් ඇඟිල්ල මෙහෙම ය.
හම්මෝ..මොකද බං කරගත්තේ..ඔයින් ගියා මදෑ..ඇඟිලි ටික නැතුව ගියානම් තමා වැඩේ..
ReplyDeleteමීට පස්සෙවත් වැඩ කරන්න කලින් උදේට කාපන්...
හයියෝ! ඔව්ව නං මොනාද අය්යේ? අපේ ආමි කාරයො ඉන්නේ කකුල් දෙක ම නැතුව.
Deleteඒ ආමිකාරයොනේ උඹ තාම බට්ටනේ
ReplyDeleteතාම නෙමෙයි මචෝ මම හැමදාම බට්ට තමා.:D
Deleteලියවිල්ල නියමය, මට හිතට අල්ලල ගියා කිව යුතුය, මගෙ බ්ලොගේද කියවන ලිස්ට් එකට දැමීමට තීරණය කරන ලද බවද කිව යුතුය
ReplyDeleteඅඩ්...ඩේ.. මෙන්න බොල ඔබා මාමා මෙහේ ඇවිල්ලා. හරි සතුටුයි ඔබා මාමේ මට! අගය කිරීමට තැන්කුයි.
Deleteඅඩේ මේ මොකෝ උනේ ඕක වැවෙන එකක් නැද්ද කෝ එතකොට අනික් කෑල්ල හයි කොරන්න බැරිද මාර කේස් එකනේ ඇයි යකෝ මැද ඇඟිල්ලම අහු කරගත්තේ දැන් හදිසියක් උනාම උස්සලා පෙන්නන්නේ මොකැයි...
ReplyDeleteමේ අර චූටි කෑල්ලක් පේන්නේ නියපොත්තද ඒ???
හපොයි! ඕක එච්චර ගනං ගන්ට එපා ගැමි අයියේ! මට ඒ හැටි අවුලක් කරදරයක් ඕකෙන් නෑ. චූටි කෑල්ල නියපොත්ත තමා.
Delete