2013/02/27

සියදිවිනසාගැනීම (හිටවෙන කවි)

ලස්සනට පෝය හඳ පායල තිබුණ සීතල මැදියමේ කට්ටිය පාලු ඇලේ දිරච්ච කොටේ උඩ වාඩිවෙලා ලෑස්ති වුණේ පෝය දවසෙම පස්වෙනි සිල්පදේ කඩන්න නං නෙමේ.. මුණ ගැහුණෙ කාලෙකින් නිසා ආගිය තොරතුරු ටිකක් කතා බහ කරල යාලුකම් අලුත් කරගන්න.. ඉතිං සුද්දයි, බට්ටයි, බඩයි, සීඩියයි පටං ගත්තා ගජරාමෙට කියවන්න.. ඔහොම පැයක් විතර ගියාට පස්සෙ කියන්න තියන සේරම කියල ඉවරවුණා කියහංකෝ.. ආයි ඉතිං ලිඳ ලඟ සංගමේ ගෑණුන්ට තරං කියවන්න දෙයක් තියේයෑ කොල්ලන්ට..

ඉතිං හත්තිලව්වේ දැං මොකෑ කරන්නේ.. මෙච්චර කාලෙකින් සෙට් වුණේ බකන්නිලාගෙන ඉන්නයැයි..  හැමෝම බඩ උලාගෙන ඉන්දැද්දී සත්ගුණවත් බට්ටා ගෙනාවා අපූරු යෝජනාවක්.. කාලීන මාතෘකාවක් ගැන කවි බණක් දේසනා කරමු කියලා.. මොකද්ද? පිස්සුද ඕයි.. කවි බණක් නෙමේ.. හිකනලා.. කාලීන මාතෘකාවක් ගැන හිටවෙන කවි පැළ කරන්න.. ආ..

අනිත් එවුනුත් හා හූ ගාලා කැමති වුණාට පස්සේ වැඩේ යන විදිය තීරණේ වුනා.. හතර දෙනෙක් ඉන්න නිසා එකා එක පදේ ගානේ කියමින් කවියෙන් කවිය ගොඩ නගා කවි පවුරක් හදන්න අදහස දුන්නා එතන හිටපු ඉතාම සීලාචාර, සංවර, සුගුණවත් එහෙම එහෙම ළමයා.. ඒ කවුද කියලා කියන්න ඕනෙ නෑනේ මං? :P

ඊළඟට මාතෘකාව.. මාතෘකා ගණනාවක් අතරෙන් තේරිලා ඒකච්ඡන්දයෙන් සභා සම්මත වුණේ "සියදිවිනසාගැනීම" කියන එක..

බොහොම හරවත් විදියට කාරිය කරගෙන යන්න හිතපු සීඩියා වැදගත් කටහඬකින් පටං ගත්තා..

කෝච්චියට අහුවුණාට මුකුත් වෙන්නෙ නෑය කියා
(ඩිඟිරි ටිකිං ටිංකි ටිකිං)

කට්ටිය ටික වෙලාවක් කට ඇරගෙන බලාගෙන හිටියා.. කමක් නෑ.. ඕන එකක්.. සුද්දා හඬ අවදි කරා..

එහා ගමේ ලොකු මාමා පීල්ල උඩ බෙල්ල තියා
  (ර්රඹ ටඹ ර්රඹ ටඹ)

අකුණක් පුපුරණ වේගෙන් සුදු මැණිකේ ආව ගියා


එළ එළ..

කැඩුණ බෙල්ල අතේ අරං ලොකු මාමා ගෙදර ගියා..

ඉතාම සම්භාව්‍ය විදියට පළවෙනි කවිය ඉවර කරපු සතුටත් ඔලුවෙ තියාගෙන බඩා දෙවෙනි කවිය පටං ගත්තා..

මන්නාරම් පිටි වැල්ලේ මදටිය වැල් ඔංචිල්ලා
බඳින ගහේ උඩ අත්තේ දිරච්ච කඹයක් එල්ලා
මහ හයියෙන් උඩු බුර බුර දුවගෙන එයි කලු බල්ලා
එල්ලෙන්නට හෙට පුලුවන් දැන් හයියෙන් දුවපල්ලා



නා ගහ ලඟ පාමසියෙන් වහ කුප්පිය ගෙනැවිල්ලා
වැඩි ඉක්මන් වෙන්න කියා බිව්වා හොඳ හැටි හොල්ලා
පැයක් ගියා දෙකක් ගියා මැරුණේ නැහැ ඒ කොල්ලා
විපරං කර බලනා විට වහ කුප්පිය කල් පැනලා


අන්තිම වචනෙං එළු සමයං එක අවුල් ගිය නිසාද කොහෙද බටුවට රවපු සීඩියා ඊලඟ කවියට මුල පිරුවා..

කොල්ල දාල ගියපු නිසා මහවැලියට පනිමි කියා

ඒ කවි පදේට පස්සෙ මොහොතක නිහඬ විරාමයක් ගත වුණා.. කට්ටියගෙ වචන ඉවර වෙලා වගේ.. හහ්.. පිස්සුද.. මෙන්න සුද්දා දෙවෙනි පදේ කියනවා..

පුංචි කෙල්ල ටිකිරි ලියා කළෙත් අරං ගඟට ගියා..

ඊ ළඟට තුන් වෙනි පදේ බඩාගෙන්..

ගඟ අයිනෙන් කළේ තියා සිකුරුලියා බොලඳ ලියා..

දැන් මොකද කරන්නෙ.. බට්ටට සිංහලත් අමතක වුණා.. විනාඩියක් දෙකක් කට ඇරගෙන හිටිය බටුවා අන්තිමට කවි සම්මේලනේ ඉවර කරා මෙහෙම..

කිරි මුට්ටිය ගඟේ ගියා ගඟට උඩින් කොක්කු ගියා..

ප.ලි - මේ කතාන්දරය සහ එහි අඩංගු කරුණු පට්ටපල් බොරු බව සලකන්න..
Related Posts Plugin for WordPress, Blogger...