Showing posts with label යූත් එක හා අපි. Show all posts
Showing posts with label යූත් එක හා අපි. Show all posts

2012/02/11

මහා හාර්ඩ් මංකොල්ලය හා ඇණ හතර



      


                                                       යූත් එක ඇතුලෙ ඉලෙක්ට්‍රොනික් වලට කියල තිබුණෙ අපේ පන්තිය විතරක් නිසා එක එක ජාතියෙ කුණු කන්දරාවක් ඇතුලෙ ගොඩ ගහං ඉන්න අපිට සිද්ධ වුණා. කැඩිච්ච වගේ ම වැඩ කරන ටී.වී, රේඩියෝ කෑලි, තව අපිවත් ඩිමාවත් නම දන්නේ නැති විවිධාකාර ගැජට් කෑලි, ඔය අතරෙ ඩිමා විතරක් නම දන්න එව්වත් එහෙං මෙහෙං තිබුණා. ඒ ඇරුණ ම ඔය කහල ගොඩවල් අතර තිබුණ තව දෙයක් තමා වැඩ කරනවදැ'යි කියලවත් හරියට ෂුවර් නැති කොම්පීතර කෑලි ගොඩක්! වැඩක් කරගන්න බැරි වුණත් වැඩ කරන කොම්පීතර කෑල්ලකුත් ඩිමා බාරේ තිබුණ එක වෙනම කතාවක්! අපිට ඉතිං පන්තියෙ කවුරුවත් නැති වෙලාවක් අල්ලල ෂෝ කෑල්ලක් වත් බලා ගන්න තිබුණෙ ඒක විතරක් නිසා හැමෝ ම ඒකට ගොඩක් ආදරේ කරා. කොච්චර ආදරේ කරාද කියනවනං ඩිමා ළඟ නැති වෙලාවට ෂට්ඩව්න් නොකර ම බොහෝ ම පරිස්සමෙන් ප්ලග් එක ඇදල දාන්න තරං අපි කාරුණික වුණා. කොහේද අර ඩිමා කාරය දැක්කොත් කෑ ගහනව නෙව "ඕකට ඔහොම ඔච්චර ලව් කොරන්න එපා යකෝ" කියලා. මයෙ හිතේ ඌට අපි ගැන දුක ඇති.
                                        දැන් මං කියන්න ගිය කතාව බලමු. දෙයියන්ගෙ පිහිටෙං මට එදා යූත් එකට යන්න බැරි උණා. මට විතරක් නෙවේ සුද්දටත් යන්න බැරි උණා. එදා පන්තියෙ හිටිය එවුං වුණේ, සී.ඩී, බඩා, ගල්ෂෝටා හා ඩිමා. දවල් වරුව වෙනකොට ඩිමා එළියට ගියේ රාජකාරියකට. ඔය අතරෙදි පන්තියෙ සාහසික අපරාධයක් සිද්ධවෙන්න කටයුතු පිළියෙල උණා.(පසුබිමින් භයානක සංගීතයක් ඇසේ)
                                        ඩිමා බාරේ තිබුණු කොම්පීතරේ මේසෙ උඩ වැජඹෙන අතරතුරේ ඒ මේසෙ ම යටට වෙලා අහිංසක විදියට බලාගෙන හිටියෙ අංග සම්පූර්ණ සිස්ටම් යුනිට් එකක්. මේක දිහා බල බල තොල කට ලෙවකමින් හිටිය විශාල අපරාධකරුවෙක් තමන්ගෙ සගයන් දෙන්නාව පන්තියේ දොරවල් දෙක ගාවට යැව්වෙ කවුරුත් එනවාදැ'යි ඔත්තු බලන්නයි.


                       "හරි! හරි! මචං මේ පැත්තෙ අවුලක් නෑ." ඉස්සරහ දොර පැත්තෙං ආවෙ මැර කටහඬක්.


                       "මෙහෙත් හරි!" පිටිපස්සෙ දොරෙනුත් සද්දයක් ආවා. 


                                       මේ අතරෙදි කබඩ් එකක් ඇතුලෙන් මුවහත් ආයුධයක් අතට ගත්ත විශාල මිනිහෙක් තමා දිහාට එන හැටි සිස්ටම් යුනිට් එක වෙව්ලමින් බලා හිටියා. (මොකෝ ඒක දුවන්න කියලැයි?) අතේ තිබිච්ච ආයුධය  එස්. යූ එකට මෑනූ අපරාධකරු එහි ඇණ ගලවා දැම්මා. අනතුරුව හාර්ඩ් ඩිස්ක් එක දිහාට ගිය ඔහුගේ අත එහිද ඇණ ගලවා දමා එය අතට ගත්තා. 250GB-SATA ලෙස එහි සටහන්ව තිබුණා. මළවුන් අතරට ගිය එස්. යූ එක තිබූ හැටියට සකස් කළ අපරාධකරු එතැනින් ඈත් උණා.


                        "වැඩේ හරි මචං"


                                       කුපාඩි මොළ තුනක පිහිටෙන් හාර්ඩ් එක සැඟවුණ අතර දරුණු අපරාධයක් එලෙසින් නිමා උණා.
                                       කොහොමද නිකං දැක්ක වගේ කිව්ව හැටි? ඔයිට ටික වෙලාවකට පස්සෙ ඩිමාත් එක්ක පංතියට ආපු අපේ සෑර් තවත් කෙනෙක්ව එක්කං ආවා. ඔටෝ ඒසී සෑර්. අපේ සෑර් ඒසී සෑර්ට අර නිවන් ගිහිපු කොම්පීතරේ දෙන්න හදනවා. පුදනකොට ම කාපි යකා කිව්වලු. යකා කිව්වෙ අපේ සෑර්ට නෙමෙයි ඕං. ඒසී සෑර්ට! දැං ඩිමා එස්.යූ එක මේසෙ උඩින් තියලා සේරම ලෑස්ති කරලා ඔන් කරනවා. යකෝ මේක ඔන් වෙන්නෑනේ! මුකුත් අවුලක් වෙන්න විදියක් නෑ! අන්තිමට බලනකොටත් වැඩ කොරාපු එක නෙව. දැන් සෑර්ලත් ට්‍රයි කරනවා. 


                      "ගලවල බලන්න පොඩ්ඩක්" අපේ සෑර් ඩිමාට කිව්වා.


                                       අර ආයුදේ ගත්ත ඩිමා ඒක ගැලෙව්වා. ඇතුලට ඔලුව දාලා බැලුවම මොකද්දෝ අඩුවක් පේනවා. හ්ම්.....මොකද්ද අඩු? අහ්... කෝ යකෝ හාර්ඩ් එක? 


                     "සෑර් මේකෙ හාර්ඩ් එක නෑනේ" 


                     "මොකක් බොල? හාර්ඩ් එක නෑ? හොඳට බලන්න. ඔය කොහෙ හරි මුල්ලකට වැටිලද දන්නෑ!" 


                     "නෑ සෑර් නෑ! මං මේ මදර බෝඩ් එක යටත් බැලුවනෙ සෑර්" 


                     "කව්ද යකෝ මේක ගත්ත එකා. තමුසෙල තුන්දෙනා මෙහෙ එනව. කව්ද මේකෙ හාර්ඩ් එක ගත්ත එකා?" 


                     "අපි දන්නෑ සෑර්! අපි අහිංසක මිනිස්සු සෑර්!" 


                                        ඔය විදියට ගිහිපු කේස් එක වැරදි කාරය හොයාගන්න බැරි වෙච්ච නිසා ටික දවසකින් වැළලිලා ගියා. අපිත් වැඩේ කරේ කව්ද කියල දැනගත්තෙ සෑහෙන කාලෙකට පස්සෙ. කොහොම උනත් ඒ අරූ කියන එක ගැන සාධාරණ සැකයක් අපේ වගේ ම ඩිමාගෙ හිතෙත් තිබිල තියනවා. කෝස් එක අවසානෙදි ඇත්ත දැනගත්ත ඩිමා තමා එදා සුපර් ම කතාව කියල තිබ්බෙ. 


                    "කව්ද දන්නෑ බං ගත්ත එකා, ඌ මේකෙ ඇණ හතරත් උස්සලනෙ"


හික් හික් ඇණ හතර. අපි තාම ඕකට ඕක කිය කිය විහිළු කරනවා!



ප.ලි:          
                           කියවන්නෝ සිතට ගත යුතු දෙයක් ඇත. මේ කතාන්දරය සත්‍යයක් වුවත් මෙහි එන සමහර දෙබස් අමු පට්ටපල් බොරු ය. එනම්, ලියන්නා කෙසේ ලීවත් කියවන්නා සිහි බුද්ධියෙන් කියැවිය යුතුයැ.


පින්තූරය ගත්තේ: මෙතනින්

2012/02/09

මෙව්වට හිනා යනවද බොල?



නිදි වරා අඩ රැයක් සිටියෙමි සිහින මවමින්             අවදියෙන්
නිදාගන්නට දෙන්නෙ නෑ නොවැ තරුණ සේවා      මතකයන්
                                     
                                                     හප්පේ ඉතින් කොටමි. යූත් එකේදි වෙච්ච පුන්චි පුන්චි සීන් වාගයක් කියන්නයි යන්නෙ. දවසක් මං පන්තියට වෙලා කරන්න වෙන වැඩක් නැති නිසාම හදන්න ගත්තා පුන්චි ලයිට් පත්තුවෙන සර්කිට් කෑල්ලක්. අර රොබෝ සර්කිට් එකය කියන්නේ. එල්.ඊ.ඩී ලයිට් දෙකක් මාරුවෙන් මාරුවට පත්තුවෙන මෙව්ව එක. ඔය වෙලාවේ  අපේ අනිත් අය හිටියේ එලියේ. මම මෙව්ව එක හදලා ටිකකින් ඔන්න අපේ සෑර් එනවා. ඇවිල්ලා මේසෙන් වාඩිවෙලා අහනවා
                   
                    "ආහ් මල්ටිවයිබ්‍රේටර් එකක්ද?"
                   
                    "නෑ සෑර් රොබෝ සර්කිට් එකක්!"
                                               
                                                     ඔය කෙලියෙ! ටිකකිනුයි මෑන් අහපු එක මට මීටර් වුනේ. මම හිනාව හිරකරගෙන එලියට ගිහින් කට්ටිය ගාවට වෙලා ඇතිවෙනකං හිනා වෙන්න ගත්තා. ඇයි බොල මල්ටිවයිබ්‍රේටර් යැ'යි බර වචනෙන් හදුන්නන්නේ රොබෝ සර්කිට් එකම නෙව!

                                                      තව දවසක් සුද්දගේ තීන්ත ඉවරවෙච්ච කාට්‍රිජ් එකද මොකද්ද කියන එක යූත් එකට ගෙනාවේ යන ගමං තීන්ත පුරෝ ගන්න.

                     "බොල බූරුවෝ! කඩේට දීල පුරෝන එක පාඩුයි. උං වතුර කලවං කරනවා. ගොං හරකෙක් නොවී තෝ ඕක පුරෝ ගනිං ඉන්ක් සෙට් එකක් අරං."

                                                      සී.ඩී අයියාත් බඩා අයියාත් ඉතා ආදරයෙන් ගුරුහරුකම් දෙනවා. ඒ ආදරණීය ආමන්ත්‍රණයන්ගෙන් කුල්මත් උනු පාර සුද්දා මෙහෙම අහනවා.

                      "ඉතිං උණහපුලුළු පැටවුනේ කොහොමද මේ පාට දාන්නේ මේකටයි කියලා හරියටම දැනගන්නේ?"

                      "ඇයි බං බලපිය ඕකේ ඒ ගැන වගක් නැද්ද කියලා."

                                                       දැං කට්ටියට අලි ප්‍රස්නේ. කස්ටියම දහ අතේ හැඟුම් පටලමින් මොලේ පතු ගාන අතරේ ඉටු දෙයියෝ පන්තියට වැඩම කරා.
                     
                        "අනේ බුදු සෑර් මේකට මොකද කරන්නේ?"

                                                      ප්‍රස්නේ දැන ගත් කල සෑර් විසඳුමක් දුන්නා.

                       "දැං බොල ඕකේ පාට තුනයිනේ තියෙන්නේ. ඉතින් ගනියවු ඇල්පෙනෙත්තක්. අරගෙන ඇතුලට ඇනලා ඒක ටිෂූ කොලේක උලලා බලාපියවු මෙතන තියෙන්නේ මොන පාටද? නැත්තං මොන පාට තියෙන්නේ එතන නැතුව මෙතනද කියලා"

                                                      ඕක කියලා සෑර් යන්න ගියා. අන්න බලන්න අපේ සෑර්ගෙ ටිකිරි මොලේ. මෙච්චර බුද්ධිමත්තු වෙච්ච අපේ එකෙක්ටවත් ආවද එහෙම අදහසක්? දැන් හරි! ගත්තා ඇල්පෙනෙත්තක්! ඇන්නා! උලලත් බැලුවා! ම්හු..... සේරම පාට එක වගේ නොවැ. ටිකකින් සෑර් ආපහු ආවා.

                        "මොකෑ, වැඩේ හරි ගියාද?"

                        "නෑ නෙව සෑර්"

                        "අයියෝ බොල. මෙහාට ගෙනෙන් බලන්න ඕක."

                                                     දැන් සෑර් කට්ටෙන් ඇන ඇන බලනවා. ඔහෙ නෑ තීන්ත වේලිලා වගේ. දැන් අලි ප්‍රස්නෙ ආපහු. දැන් සෑර් කාට්‍රිජ් එක උඩ අලවලා  තිබිච්ච ස්ටිකරේ අතේ තියං රෝල් කරනවා, ගුලි කරනවා, කරකනවා, අඹරනවා, මිරිකනවා, ඔය සේරම කරන ගමං ප්‍රස්නෙට තියන විසඳුම් අපිත් එක්ක සාකච්ඡා කරනවා. අන්තිමට මිනිහා කියනවා සුද්දට මෙහෙම.

                           "දැන් තමුසෙ මෙහෙම කරනවා. මේකත් අරං තීන්ත පුරෝන කඩේකට යනවා. ගිහිං එහෙම තැනකින් වැඩේ කරගන්නවා. දැන් ඉතින් වෙන කරන්න දෙයක් නෑනේ. මේකෙ උඩ තියන ස්ටිකරෙත් අලවං යනවා. කොහෙද ඒක? අහ්!"

                                                     මිනිහා අතේ තියන හැඩ රුව අදුරගන්න බැරි ස්ටිකරේ දිහා බලනකොට මට හිරකරගන්නවත් බැරි තරං ලොකු හිනාවක් ගියා. නවතගන්නම බැරි වුනු සඳ මම බඩාගෙ පිටිපස්සට ගිහින් ඇති වෙනකං හිනා වුනා. ඒකෙ ඒ තරං හිනා වෙන්න දෙයක් නැති වුනත් අද වුනත් ඒක මතක් උනාම හිනා යන්නෙ ඇයි කියල මටම තේරෙන් නෑ.
                                                     ඔය අව් අස්සේ ඕං මට මතක් උනා මං කොහේදෝ කියවපු විහිලු කතාවක්. ඇමති කෙනෙක් ගියාලු මන්ත්‍රී කෙනෙක්ව හම්බවෙන්න මිනිහගේ ගෙදරට. ගේට්ටුවට තට්ටු පාරක් දැම්මාම වැඩකාරියක් ආවලු.

ඇමති: මන්ත්‍රීතුමා ඉන්නවද?

වැ.කා.: පොඩි හාමුදුරුවො ගෙදර නෑ.

ඇමති: එහෙනං මන්ත්‍රීතුමාගෙ අම්ම ඉන්නවද?

වැ.කා.: ලොකු හාමුදුරුවො මාකට් ගියා.

ඇමති: ඒමද? එහෙනං ලොකු හාමුදුරුවොයි පොඩි හාමුදුරුවොයි ආවම කියන්නකො බුදුහාමුදුරුවො ඇවිත් ගියා                                                                                                
           කියල!



පින්තූරය ගත්තේ - මෙතනින්

2012/02/06

කෙස් ගහක් දී පාටියක් ගත්තෙමු.









                                                       පිළිවෙලක් නැති මතකයන් අතරින් තෝරගත්තු මේ කතාව කියන්න මට විශේෂ අවසරේකුත් ගන්න උනා. කොහොමටත් මගේ 1 ඉඳන් 0 වෙනකන් තියන කිසිම දේක පිළිවෙලක් නං නෑ තමා. මේකත් 2010 යූත් එකේ වෙච්ච සිදුවීමක්. කලින් පෝස්ට් එක නොබලපු අයට පැහැදිලි මදි වෙයි ඕං. (නොහොත්, අනේ පිලීස් කලිං එකත් බලන්න.)
                                                       හරි! මේක කලින් සිදුවීමටත් කලින් සිද්ද වෙච්ච දෙයක්. අපේ බඩාට කෙල්ලෙක්ට හිත ගිහින් තිබුනා. ආරංචිවල හැටියට හිත ගිහිපු පළවෙනි කෙල්ල. අපේ පංතියට එහා පංතියේ හිටපු ඒ අක්කට  හිත ගිහිපු බඩා ඒ දවස් වල දැක්කම දුක හිතෙන චරිතයක් වෙලා තිබුනා. උගේ හිතේ තිබුන මහ විසාල ආදරේ ගැන පුංචි අදහසක් අපිට දෙන්න බඩා කිව්වෙ
                               "ළමයි දෙන්නෙක් එක්ක ආවත් බාරගන්නවා " ය කියලා.
                                                    මේ කතාව ගැන බොහෝම අප්සැට් එකේ හිටියෙ සුද්දා. "ඒ පව් බං බඩා" ඌ මාත් එක්ක කියනවා. කොහොම උනත් මේ ඒක පාර්ශ්වික ආදරයේ ආදරවන්තයාට ලොකු ප්‍රශ්නයක් තිබුනා. අක්කා පරසතු මලක්. හලේ! ඒක විතරදැයි, තව අවුලක්. අක්කා අපේ අයියට වඩා අවුරුද්දක් වැඩිමල්. ඉතිං මොකෑ කරන්නේ? අපිට කරන්න දෙයක් නැති උනාට බඩාට විසඳුමක් තිබුනා. මූ ගියා අඳුරන කට්ටඩියෙක් හම්බ වෙන්න. කට්ටඩියා දුන්න විසඳුම.

               "කරපිය වශියක්!"

               "කොහොමද අයියා ඒ?"

               "ඇයි බොල? ගෙනෙන් කෙස් ගහක්!"


                     "ගලෝපියව් බොලව්නේ කෙස් ගහක්! දුක නැද්ද තොපිට?"
                                                 දුකයි තමා. ඒත් කෙල්ලෙක්ගේ කෙස්  ගස් ගලවන්න ගිහින් කොහොමද අඩි උස සෙරෙප්පුවෙන් වදිනකොට? බට්ටට නං බෑ ඔව්වා! අහ්! තව දෙයක්. මේ වෙනකොට අපේ සෙට් එකේ තව දෙන්නෙක් හිටියා. බන්ඩයි, ජුන්ඩයි. මැද්දෙදි හැලුණ උන් දෙන්නත් අපේ වයසෙ. ඔය අතරෙදි දවසක් යූත් එකට පොලෝසියෙන් ආවා. කාවවත් ගෙනියන්ට නෙමෙයි. ජනාධිපතිතුමා යූත් එකට ගෙන්නන්ට. ළඟදි තණකොල කැපුවත් උපන්තේකට අතුගාලා නොතිබුණු පිට්ටනියට හෙලිකොට්ටෝරුවො දෙන්නෙක් ගොඩ බාද්දි, හිතාගන්න බැරි තරං වේලිච්ච තණකොළ කෑළි ගොඩක් සම්පූර්ණ වටපිටාවම වැළඳ ගනිද්දි විවේක කාලය පටන්ගත්තා. අපි කෑමත් අතට අරන් කැන්ටිමට යන අතරතුරේදි නිසරු සිමෙන්ති පොළවෙ තණකොල රැඳුණු සුන්දර දර්ශනේ රස විඳින්නත් අමතක කරේ නෑ.

                                                  දැන් අපි කැන්ටිමේ. බඩාත් සීඩීත් වාඩිවෙලා ඉඳිද්දි ජුන්ඩා, ගල්ෂෝටා, සුද්දා සහ මම අත හෝදන්න ගියා. අර ඌරො දෙන්නට මොන සෞඛ්‍යද? අපි ටැප් එක ළඟට වෙලා බලා හිටියෙ කාන්තාවො දෙතුන් දෙනෙක් අත් හෝදමින් හිටපු නිසා. ලේඩීස් පස් කිව්වලු! කව්ද එතකොට මේ අන්තිමට ඉන්න අක්කා ඈ? අපේ බඩාගෙ අක්ක නෙව බොල! අක්ක ටැප් එක පැත්තට පහත් වෙලා වතුර බොන ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ගල්ෂෝටට අමතක උනේ නෑ. දිග කෙස් ගහක් අගින් අල්ලගත්තු ඌ විදුලි වේගෙන් ඒ අත පිටිපස්සට ගත්තත් අක්කට නොදැනෙන්න ඒක කරන්න පුලුවං වුනේ නෑ. ප්‍රතික්‍රියාව වුනේ සද්දයක් දාගෙන එක පාරටම හැරුන අක්කා ගල්ෂෝටා දෙස බැලීම, ඒ එක්කම ගල්ෂෝටා ජුන්ඩා දෙස බැලීම සහ අක්කා ජුන්ඩා දෙස රවා බැලීම. ඔයින් ගියා මදැයි!
                                                  කොහොම උනත් මැරෙනකං හිනාවෙවී කන්න ගිහිපු අපිට කෙස් ගහක් වෙනුවෙන් පාටියක් හම්බ උනේ බඩාගෙන්!




පින්තූරය ගත්තේ:  මෙතනින්

2012/02/02

රුපියල් දහයට ගහගැනීම

                                 



                                      මේ සිද්ධිය උනේ 2010 අවුරුද්දෙදි. ඒ වෙනකොට බට්ටා O/L කරලා ඉවරවෙලා නිවාඩු කාලෙදි කෝස් කෑල්ලක් කරන්න කොහේදෝ තියන තරුණ සේවා මෙව්ව එකකට ගියා. අර ඉලෙක්ට්‍රොනික් ය කියන ජාතියේ කෝස් එකක් තමයි කරේ. බට්ටගෙ අසල්වැසියෙක් සහ හොඳම යාලුවා වුණු සුද්දත්(17) එක්ක සෙට් වෙලා,  එතෙන්ට ගිහින් ඇතුලත් වෙලා පන්තියට යනකොට එතන හිටියේ ඩිමොස්ටේටර්(ඩිමා)(21) විතරයි. ඌ අපිට කලින් අවුරුද්දෙ කෝස් එක කරලා, සර් නැති වෙලාවට අපිව බලා ගන්න හිටපු එකා.
                                     අපි පන්තියෙ වාඩිවෙලා ඉන්නකොට එකෙක් ආවා . ඌ මොකාද වගේ බලලා එළියට ගියා. ඌ තමා සී.ඩී(21)! ටිකකින් ආවා හොඳ මහත දෙහෙත ඇති දැක්කම දුවන්න හිතෙන ඩයල් එකක්. ඌ නිකං වත් හැරිල බලන්නැතුව එළියට ගියා. ඒ බඩා(20)! ඔහොම තව ටිකක් වාඩි වෙලා ඉන්නකොට තවත් එකෙක් ආවා. ඒ යකා අපේ දිහා බලලා ලස්සනට මූන පුරා  කුපාඩි හිනාවක් දාල යන්න ගියා. ඌට කියන්නෙ ගල්ෂෝටා(21)! ඔය වගේ එක එක ජාතියේ උන් 11 ක් හිටියා. මේ සිද්ධිය වෙච්ච කාලෙ වෙනකොට 11න් ඉතුරුවෙලා හිටියෙ ඔය උඩ කියපු තුන්දෙනා සහ සුද්දත් මමත් විතරයි.
                                       ඒ අතරිනුත් මට යූත් යන චාන්ස් එක මිස් වෙලා තිබුණා. මොකද A/L උලව්ව කරන්න මට තාවකාලිකව යූත් යෑම නවත්තන්න උණා.ඒ නිසාම මේ කේස් එක වෙනකොට බට්ටා යූත් එකේ නෑ. දැන් පසුබිම පැහැදිලි නිසා කතාව මෙහෙමයි!
                                       දවසක් අපේ කට්ටිය පන්තියට වෙලා පච කෙළ කෙළ හිටියා. ඔය අතරෙදි රු. දහයෙ කොළේක බාගයක් එකෙක්ට හම්බ උණා. ඒක හරියටම දෙකට නවාපු කොළයක් වගේම පෙනුණා. මේක දැකපු තව එකෙකුට බොහොම අපූරු ගොන් අයිඩියාවක් ආවා. මේක අනිත් උන්ටත් කිව්වාට පස්සේ සෙට් එක පන්තිය ඇතුලෙන් හීනි තඹ කම්බි රෝලක් හොයාගත්තා. මේකෙන් දිග කෑල්ලක් කඩාගෙන දහයේ කොළේ කොණක අමුණපු මුන් ටික දහය එළියෙන් තියලා තඹ කම්බිය දොර යටින් ඇතුළට ගත්තා.දැන් මොකෙක් හරි ඇවිත් අහුලනකං දොරේ වීදුරුවට මූණ තියාගෙන අපේ උන් බලං ඉන්නවා. ඔන්න පාලුව මකාගෙන එකෙක් ඈතින් එනව පේනවා. සර්ගෙ යාලුවෙක්. ඔපීසියෙ වැඩ කරන ඩයල් එකක්. උගේ ඇස් දෙක බිම තියන දහය දිහාට ගියා. ඒක අඳුර ගන්න ඇස් දෙකට පුලුවන් වෙච්ච ගමන් පහත් වෙච්ච ඩයල් එක අත ඒ දිහාට ගෙනියනකොට ම අපේ උන් කම්බිය ඇද්දා. අවුල මොකද්ද කියලා එකෙන් ම මීටර් වෙච්ච නිසා මිනිහා ෂේප් එකේ නැගිටලා ගියා. අපේ උන්ට ආතල් එක මදි වෙච්ච නිසා ඌව නෝන්ඩි කරන්න එළියට බැහැපු කට්ටිය ඌ යනකං බලං හිටියා.
                                        පළවෙනි චැප්ටරේ ඒ විදියට ඉවර උන නිසා සෙට් එක දෙවෙනි කොටසට ගියා. දැන් කලින් වගේම ඇතුලෙ ඉඳන් කට්ටිය බලං ඉන්නවා. ඔය අතරෙදි බඩා වගේ දෙකක් විතර මහත එකෙක් පන්තිය පැත්තට රෝල් වෙනවා. කව්ද යකෝ මේ? අප්පද බොල! පවර් ඉලෙක්ට්‍රිකල් එකේ සෑර් කාරයා. ඒ යකාගෙ ඇස් පෙනීමත් නරක නෑ. මෙන්න මූ දහය ගන්න පාත් වෙනවා! අපේ එවුන් මේ සැරේ කොළේ අතට ගන්නකං ඉඳල ඇද්දේ කම්බිය අතේ තියන එකාගෙ වැරැද්දක් නිසාද කොහෙද. කලින් එකාට වගේම  සෑර්ටත් තේරුණා අවුල. හැබැයි මිනිහ ගේම අත ඇරියෙ නෑ. බාග දහය හයියෙන් ඇදල ගත්ත මිනිහා ඒකත් සාක්කුවෙ දාගෙන යන්න ගියා.
                                        මේ අතර ගල්ෂෝටාගේ ක්‍රියාකාරකම් වලින් ධෛර්යමත් උනු අපේ උදවිය උගේ පස්සෙන් එළියට බැහැල කෑ ගහන්නයි හූ කියන්නයි පටං ගත්තා."ඒයි රුපියල් දහය දීල යනව. ලැජ්ජ නැද්ද හොරකං කරන්න. හු හූ........" කට්ටිය ආතල් එකේ කෑ ගහනකොට සද්දයක් දාපු සෑර් ඇතුලට ගියා. මේ කතාව මොකද්ද කියල නං මම දන්නෑ. හැබැයි මොකක් උනත් ඒ කියපු කතාවට මල පැන්නේ වලි හොයමින් ඉන්න අපේ චන්ඩියා ගල්ෂෝටට. උගේ වාස භවනය යූත් එක පිහිටි නගරයේ ම තිබුනු නිසා ඌට බය වෙන්න දෙයක් තිබුනෙ නෑ. ඌ කෑ ගහගෙන සෑර්ගෙ පන්තියට යනකොට ඌව තනි නොකල අපේ යහපත් යාලුවන් ඌත් එක්කම ගියා.ඒ අතරෙදි ඒකේ ඩිමෝල දෙන්න අපේ එවුන්ව අවුස්සමින් හිටියා. පන්තිය ඇතුලෙදි වෙච්ච උණුසුම් වචන හුවමාරුවකින් පස්සෙ වැඩි කලබල නැතුව අපේ උන් පන්තියට ඇවිල්ල තිබුණා.
                                       ඒත් එක්කම යූත් එක ඇරුණා. මේ වෙනකොටත් අපේ සිසුන්ගේ යහපත් කල්ක්‍රියාව ගැන ඔපීසියට පැමිණිලි ගිහින් තිබුණු අතර ම ගේට්ටුවෙන් පිටවන ඉලෙක්ට්‍රොනික් කාරයන් අල්ලගන්නට සික්කන් සික්කාවන් පෙළ ගැසී සිටියා. දැන් කට්ටිය ගේට්ටුව ගාව.

                       "ඕගොල්ලො ඉලෙක්ට්‍රොනික් එකේ නේද?" සික්කාවක් අහනවා.

                       ප්‍රෝඩාවට උපන් හපන් බඩා ඉස්සරහට එන්නේ මේ වෙලාවෙ.

                       "නෑ නෑ ඒ ගොල්ලො පිටිපස්සෙන් එනවා"

                                    කොහොමහරි මේ විදියට හැමෝම එදා යහතින් ගෙවල් වලට ගිහින් තිබුණා.
Related Posts Plugin for WordPress, Blogger...