2012/05/10

බාරොං බූරු කතාව

බොලවුනේ...! පුංචි කාලෙ සුරංගනා කතා අහල තියේද?? ආසද ආපහු අහන්න මේඩ් ඉන් ශ්‍රී ලංකා සුරංගනා කතාවක්... ඒත් වැඩ තියන අය කාලෙ නාස්ති කර ගන්න එපා ඈ..

මෙහෙමයි...
එක හැන්දෑවක හද්ද පිටිසර ගමක රැවුල දිග අසූව පැනපු සීය කෙනෙක් හාන්සි පුටුවක වාඩි වෙලා හිටියා... ඉන්නකොට අහල පහල සෙල්ලං කර කර හිටිය පුංචි එව්වො වගයක් සීය වටේට එකතු වෙලා නඩුවක් අහන්න පටාං ගත්තා..
"සීයෙ මූ කියනවා සත්තු වත්තෙ පැන්ඩල නෑලු" එකෙක් කිව්වා.. අන්න ඒක අහපු ගමන් සීයට හෙනට මල පැන්නා 
"පැන්ඩ?? මතක් කරන්න එපා බොලවු ඕකව... ආව මෙතන මගුලක් කතා කරන්න.. පල කිව්වෙ"  
"ඒ මොකද බං??" පොඩි එකෙක් ලඟ හිටිය එකෙක්ට කෙඳිරුවා....
"ඇයි සීයෙ?" එක පොඩි එකෙක් බයෙන් වගේ ඇහුවා...
"ඕකා අපේ පරම්පාරාවෙ හතුරෙක්"
"ඒ මූට පිස්සුද බං?? පැන්ඩ කියන්නෙ හෙන අහිංසක සතෙක්නේ" අර පොඩි එකා ආපහු ලඟ හිටිය එකාට කෙඳිරුවේ වෙන කාටවත් නෑහෙන්න..
"ඒ මොකෝ සීයෙ ඒ? පැන්ඩ මක් කරාටද? "
"ඔය එහෙං මෙහෙං ඈඳි ගං එහෙනං කියන්න කතාව...."
පොඩි උන් ටික ඉඩ තියන තැන් බලල හොඳ සැප පහසුවට වාඩි උනේ කතාව දිග උනොත් එහෙම කියලයි...
සීය කතාව පටං ගත්තා....
"දැන් ඔන්න බොලං අපේ සීය ඉන්නවනේ... දැන්නං නෑ... ඉස්සර හිටියලු.. අන්න ඒ සීයගෙ සීයට හිටිය මාම කෙනෙක්.."
"ඒ මාම සීයට කවුද වෙන්නේ? " පොඩි එකෙක් මැදට පැන්නා...
"වහපිය කිව්වෙ කට" සීයගෙ සද්දෙට ඌ  කට වහගෙන පැත්තකට උනා...
"ඒ මාමගෙ මල්ලිගෙ පුතා බැඳල හිටිය කෙනාගෙ බාප්පට හිටිය එක පුතෙක් කසාද බැන්දා... ඒ පුතාගෙ යාලුවෙක් හිටියා ආරොං කියලා.. මේ ආරොංගෙ මුත්ත බැඳල හිටිය නෝනගෙ අම්ම බැඳල හිටිය එක්කෙනාගෙ දුවගෙ මාමට යාලුවෙක් හිටිය බාරොං කියලා... "
මේ කතාව අහන්න වාඩි උන පොඩි උන් දෙන්නෙක් තුන් දෙනෙක් ඔලුවෙ අත ගහත්තා... අනිත් උන් කට ලොකු කරල ඇරගෙන සීයගෙ දිහා බලාගෙන හිටියෙ කන්න වගේ...
"හොඳ වෙලාවට බං මම වාඩි වෙලා හිටියෙ" අර පොඩි එකා ආපහු ලඟ හිටිය එකාගෙ කනට කතා කරා..
සීය කතාව පටං ගත්තා...
"අන්න ඒ බාරොං ඒ දවස් වල හිටියෙ මැටි ගහල හදපු ටිකක් ලොකු ගේක...මිනිහ කසාද බැඳලා තමා හිටියෙ.. ළමයි හිටියෙ නෑ... ටිකක් වයසයි පොරට ඒ කාලෙත්.. මාත් එක්ක එකට ඉස්කෝලෙත් ගියා ඉස්සර.."
ඒක අහල පොඩි උන් පුදුම උනා.. උඹලටත් වැඩිය උන් පුදුම උනා... ඒත් සීය ඒක ගනන් ගත්තෙ නෑ.. කතාව කිව්වා..
"එක පුටුවෙ වාඩි වෙලා අපි අකුරු ලියපු හැටි මතක් වෙනකොට මේ දැනුත්... මේ දැක්කද... මේ.. කඳුලු එනවා...." සීය කඳුලු වලින් තෙමිච්ච ඇස් දෙක පෙන්නුවා.. ඒ වෙලාවෙ පොඩි උන් දෙතුන් දෙනෙකුගෙත් ඇස් වල කඳුලු පිරිල තිබුනා... සීය කතා කරා..
"ඔන්න ඉතිං මේ බාරොං ගම මහගේත් එක්ක හේනක් කොටාගෙන ඉන්නකොට මැයි මාසෙ ආවා... ඒ කියන්නෙ මේ වගේ වෙසක් මාසෙ.. ආවාම දැන් නිකන් ඉන්නත් බෑනෙ.. කූඩුවක් දෙකක් හදන්න එපෑ.. ඉතිං බාරොං ගම මහගෙට කතා කරා"
"මේ යෝදියෙ... අර කම්මලේ ගලේ ගාල හදපු කැත්ත ගං මෙහෙට්ට... මට දහාටපට්ටමක් හදන්න පල්ලෙහැයින් බට ගහක් කපාන එන්ට"කියල කිව්වලු...
ඒත් දැන්... ගම මහගේ සද්දයක් නෑලු...ඉතිං බාරොං කිව්වලු...ඉස්සෙල්ලට වඩා හයියෙන්..
"ඕයි ගෑනියෙ...!! අර කම්මලේ ගලේ ගාල මුහාත් කරාපු ලොකු කැත්ත ඇන්න වර මෙහෙට්ට!"
අන්න ඒ සැරේ ගම මහගේ කැත්තත් දෑතින් අරගෙන ආවලු බාරොං දිහාවට... බාරොං ඉතිං සිංහය වගේ ඉස්සරහට ගිහිං මීය වගේ කැත්ත අතට ගත්තලු.. කියන්න බෑනේ... මේ ගෑනි පරන තරහක් අල්ලල කැත්තෙන් පත බෑවොත් එහෙම.. ???" සීය කියනකොට වහගන්න බැරි හීනි හිනාවක් ගියා පොඩි උන් ටිකට... සීය කතාව කියනවා තාමත්..
"දැන් බාරොං උන්නැහේ කැත්තත් අරගෙන වත්තට යනකොට පෙත්තෙක් ඉඳගෙන කජු කනවලු... ඉතිං පෙත්ත කජු කෑවට කමක් නෑ කියල බාරොං ගියාලු වත්ත පහල බට ගහ ලඟට... යනකොට....අඩේ අන්න බට ගස් පඳුරම නෑලු.. තිබ්බ තැනක් වත් නෑලු හොයාගන්න... දැන් බාරොං උඩ බිම බලනවලු මොන මගුලක්ද මේ කියලා.. අන්න එහෙම බලනකොට අර උස බිලිං ගහ මුදුනෙ කවුද දන්නවද හිටියෙ??" සීය හයක් හතරක් නොදන්න පුංචි එව්වොන්ගෙන් ඇහුවා..
"ඔව්" එකෙක් කිව්වා...
"පැන්ඩා" පිටිපස්සෙ වාඩි වෙලා හිටිය එකෙකුත් කෑ ගැහුවා..
"බම්බුව... ගහ උඩ ඉන්නවලු තඩි බූරුවෙක්..." සීය කියනවා..
"ගහ උඩ බූරුවෙක්??" එක පොඩි එකෙක්ට කියවුනා...
"අන්න එතකොට බාරොං කැත්ත උරුක් කරල බූරු තඩියගෙන් ඇහුවලු..
"කවුද යකෝ මගේ බට පඳුර කෑව වල් බූරුව?" කියල.. ඉතිං බූරුව වෙව්ල වෙව්ල කිව්වලු... "අනේ මගෙ හාංදුරුවනේ.... මම තමයි කෑවෙ" කියල..."
"තෝ මොකද ගොං බූරුවො බට කෑවෙ... ?? බූරුවො බට කන්නෙ නෑනෙ" කියල බාරොං කිව්වලු...
"අනේ හාංදුන්නේ... මම ඉස්සර කෑවෙ බත් විතරයි... මට දවසක් දෙහිවල සත්තු වත්ත බලන්න ගිය වෙලේ යාලුවෙක් හම්බුනා... ඌ පැන්ඩෙක්... ඕක තමයි මට බට කන්න පුරුදු කරේ..." කියල අන්න බූරු තඩිය කිව්වලු... "
"ඉතිං දැන් කවුද වැරදි?? අර පැන්ඩනේ වැරදි... ඕක තමයි සේරම කරල තියෙන්නෙ..."
"අන්න එදා ඉඳං මම අර කිව්ව නෑදෑ කම් වල පිළිවෙලට පැන්ඩ අපේ පාරම්පරික හතුරෙක් උනාලු.. කියල තමයි ඉතිහාස පොතේ රන් අකුරින් ලියවිලා තියෙන්නෙ.." ඔන්න සීයට කතාව කියවල ඉවර වෙනකොට නින්දත් ගිහිල්ලලු....

ප.ලි.
     දැන් මට බනින්න එපා අඩාලා... මම කලිම්ම කිව්වනේ වැඩ තියන උං බලන්න එපා කියලා.. :P

(මූණු පොතේදී මගේ අක්කා හා අයියා සමඟ කළ චැට් එකක් ඇසුරිණි )
Related Posts Plugin for WordPress, Blogger...