2012/03/21

අපූරු දඬුවම් ඔබත් විඳල තියේද?

                                                   උන් දෙන්න බොහොම පුංචිවට විහිලුවකින් පටං ගත්ත රණ්ඩුව ටිකක් දුර දිග යන ගතියක් පෙනුණා. මුලින් හිනාවෙන් කියවුණු වචන දැන් ටිකක් අමුතු ස්වරේකින් පිටවෙන්න අරං. අපේ පන්ති හතරම තිබුණෙ එක හෝල් එකේ නිසාත් ඒවා මනඃකල්පිත මායිම් වලින් විතරක් වෙන්වුණු නිසාත් අපිට ඕනෙ වෙලාවක එහා කෙරෝලෙම පන්තියෙ ඉන්න ගෑල්ළමයෙක්ගෙ වුණත් මූණ බලන්න පුලුවන් වෙලා තිබුණා.. ඒ නිසා ඕන ම කෙනෙක් සද්දෙට වචනයක් කිව්වොත් ඒක අහන්න දුර පන්තියෙ එකෙක්ට ආයාසයක් ගන්න ඕනෙ වුණේ නෑ.. මේ කට හොඳ නැති එවුන් කෑගහන අස්සෙ වාසනාවකටද මන්දා ඒක අහන්න ගුරුවරයෙක්ට කියලා හිටියෙ එහා පන්තියෙ සිංහල උගන්නන මිස් විතරමයි.. ඒ මිස් කට ඇරගෙන මේ විලි ලැජ්ජා නැතුව එකසිය ගානක් ළමයි අතර අසැබි වචනෙන් කෑ ගහන මී හරක් දෙන්න දිහා බලං හිටියා. මේ වෙලාවෙ රතු ඉර බලෙන්ම වගේ පන්නගත්ත එක චන්ඩියෙක් තමන්ගෙ ප්‍රතිවාදියට කම්මුල් පාරක් ප්‍රදානය කරා.. ගෑල්ළමයි සිය ගානක් මැද නිවට වෙන්න අකමැති වුණු අනිත් එකා පුරුදු වචන පේලියත් එක්ක ම පළවෙනි ප්‍රහාරකයගෙ ඇඟට කඩාගෙන පනිද්දි ඒ වෙනකොට පන්ති නායකය වෙච්ච මට බලාගෙන ඉන්න බැරි වුණා..

                        "ඒයි ඕක නවත්තපන් රංගයා" මම එකෙක්ව පැත්තකට අදිද්දි අනිත් එකාව අල්ලගෙන කට්ටියම මට සහය දුන්නා.

                        "උඹලට පේන්නැද්ද යකෝ එහා පන්තියෙ මිස් කෙනෙක් ඉන්නවා..නවත්තපං ඔය කුණුහරප කිවිල්ල"

                                                                    රණ්ඩුව නවත්තන එක එච්චර අමාරුවක් නැතුව කරගත්තත් පීරියඩ් එක ඉවර වෙලා මොහොතකින් අංශ බාරව හිටපු සර් පංතියට ආවා.

                          "කෝ මොකාද ගහගත්තේ? මේ පන්තියෙ නේද?" මට නැගිටින්න උණා..

                           " ඔව් සර්...! දැන් ඒක ඉවරයි සර්!"

                           "කවුද ගහගත්තේ?"

                           "අව්ලක් නෑ සර්.... ඒක බේරගත්තා දැන් මුකුත් ප්‍රශ්නයක් නෑ" කොහොම උණත් මට පාවල දෙන්න හිත දුන්නෙ නැති නිසාම මං කිව්වා.

                           "මං දන්නෑ.. අන්න අර මිස් ගිහිං ප්‍රින්සිපල්ටත් කියලා..දැන් උඹලම බේරගනිල්ලා" සර් ගිහින් මොහොතකින් පොඩි කොල්ලෙක් පන්තියට ආවා..

                           "මේ පන්තියෙ පන්ති නායකට අන්න ප්‍රින්සිපල් එන්න කිව්වා"

                           "මං කිව්ව උඹලට.. දැන් හරිනෙ ආතල් එක? මට තමා දැන් කෙලවෙන්නෙ.." මම කේන්තියෙන්ම රංගයට කියලා අධිකරණයට ගියා.. ප්‍රින්සිපල් වේවැල අතේ තියාගෙන අංශ බාර සර් එක්ක කතාව...

                            "ආ! මේ එන්නෙ ලොකු බුවා" අංශ බාර සර් එහෙම කියනකොට මට තේරුණා මොකද්දෝ අවුලක් තියන විත්තිය..

                            "කෝ? තමුසෙල මොකද මේ පන්තිය මැද්දෙ කුණුහරප කිය කිය ගහගන්නෙ? අල්ලපං අත! අර අහින්සක ගෑල්ළමයින්ට ඉස්කෝලෙ එන එක එපා කරන්නද තමුසෙල හදන්නෙ?"

                                                                 ඒ අන්තිම වාක්‍යයට "අනේ මොකටද මගේ කට" කියන්න හිතුණත් ඒක නොකිය නිදහසට කරුණු කියන්න හදනකොට අහක ගිහිපු මිස් කෙනෙක් ප්‍රින්සිපල්ට මොකද්දෝ කිව්වා.. සර් ඒ පැත්තට හැරිච්ච අවසරෙන් මං අ.බා. සර්ට කාරණාව පැහැදිලි කරා..

                            "සර් මං දැක්ක විතරයි සර්! ගහගත්තෙ නෑ!" ප්‍රින්සිපල් කතාව නවත්තල මේ පැත්ත හැරුණේ එවෙලෙ.

                           "ආ! සර් මූ ගහගෙන නෑ.. මූ ඇහින් දුටු සාක්ෂි කාරයෙක් විතරයි!"

                           "ආ! මෙයා ගහගෙන නැද්ද? එහෙනං කවුද ගහගත්තෙ? ගිහින් එන්න කියනව පන්තියෙ සේරම පිරිමි ළමයින්ට.." මං ගිහින් කට්ටිය එක්කං ආවට පස්සෙ පුංචි දේශනයක් තිබුණා.. උ/පෙ කොල්ලො ගහල හදන්න බැරි බව දැනං හිටිය අපේ කලිං හිටිය ඒ ප්‍රින්සිපල් තුමා මං ජීවිතේ විඳපු හොඳම හා රසවත්ම දඬුවම අපිට දුන්නා...

                           "දැන් තමුසෙල සේරම මෙතන ඉඳන් අතෙන්ටයි, එතන ඉඳන් මෙතෙන්ටයි වට 20 ක් දුවන්න ඕනෙ.. ඉක්මනට ඉක්මනට!" සෙක්ශන් එක ඉස්සරහ දුවන එක ලැජ්ජයි තමා.. ඒත් බලන්න ඒ දඬුවමේ හැංගුණු බුද්ධිමත් කම.. වට පහළවක් විතර දිව්වම අනුකම්පා කරපු සර් ඊළඟට කට්ටිය නවත්තලා මෙහෙම කිව්වා.

                           "හා! දැන් ෆ්‍රොග් ජම්ප් එක දාන්න" කිව්වට කවුරුත් දන්නෑ ඒ මොකද්ද කියලා.. ඉතින් සර් අත් දෙක ඔලුව පිටිපස්සෙන් තියාගෙන දනහිස් දෙකෙන් නැවිලා දෙතුන් පාරක් පැනලම පෙන්නුවා. ෆ්‍රොග් ජම්ප් එක පැනල ඉවර වෙනකොට එකෙක්ට හොඳටම අසනීප උණ එකත් සර් හොඳටම කලබල වෙලා සර්ගෙ සල්ලිවලින්ම බෙහෙත් අරන් දීල ගෙදරටම ඌව ගිහින් දාපු එකත් මෙතන නොලිය ඉන්න එක හොඳ නෑ.. කොහොම උණත් බලන්න පොඩ්ඩක් මුලුන්ම කියපු ගුරුවරියගෙත්, අ.බා. සර්ගෙත්, අපේ කලින් හිටපු ඒ ප්‍රින්සිපල්ගෙත් චරිත තුන කොයි තරං එකිනෙකට වෙනස්ද කියලා. කවුද වැඩිය හොඳ කියන එකේ තීරණය ඔබට බාරයි...


ප.ලි.:
        අද පොඩ්ඩක් වෙනස් විදියක් ට්‍රයි කරපු නිසා කියවන්න කම්මැලි වගේ හිතුණනං සමාවෙන්ඩ ඕනෙ..! පහළ අදහස් අවංක වෙයි කියලයි බලාපොරොත්තුව..

 පින්තූරය ගත්තේ: මෙතනින්

2012/03/07

මම වැටුණෙමි! උඹලත් වැටුණද?

                                                    ඔන්න එක එකාලා... සමාවෙන්ඩ..!...එක එකීලා දත කඩා ගත්ත ෂීන් බ්ලොග් වල ලියන්ඩ පටං අරගෙන. ඇයි සමහර එවුන් මෝහිනීට ගල් ගහපු එවුවත් ලියනවා. ඇයි හත් දෙයියනේ! අපි ඔටුවොද? අපිටත් තිබුණ බබා කාලයක්! ඉතිං ඇහැකිද කට වහගෙන නිකං ඉන්න? ඕං අහගනිල්ලා!
                                                    මම 2 වසරෙ තූති කොලුවා කාලෙ මේ දැං ඉන්න ඇටි කෙහෙල් කාපු උගුඩුව වගේ නෙමෙයි. කොයි වෙලෙත් සෙල්ලමමයි. ඉන්ටර්වැල් එකක් හම්බුණාද ආයිත් ඉතිං හොයනව බොරු. ලේසියෙන් මේ කතාව කියවන උඹලට ඔය යනව වගේ ඈනුමක්වත් ගියේ නෑ. එච්චර ක්‍රියාසීලීයි. ඔන්න දවසක් ඉන්ටර්වැල් එකේදි අපි කස්ටිය පිට්ටනිය කෙළවරේ සෙට් වුණා. දැන් මොකදැයි කරන්නෙ. එකෙක් කියනවා "රේස් දුවමු"ලු. නරක නෑ ඉතිං වැඩේ. හැමෝම කැමති වුණා. දැං කොල්ලො දහයක් විතර පේලියට පිට්ටනිය දිගේ. එහා පැත්තෙ කෙරෝළට දුවල පිට්ටනියෙ බැම්මට අඩි දෙකක් පහලින් තියන පොළවට පැනල අඩි පහක් විතර එහායින් තියන බිත්තිය අල්ලන්ඩයි තියෙන්නෙ.
                                                   දැන් සේරම හරි! "ෂැරෂේ...න්! එළවේ......න්!! ය!!!" ඔන්න තූති එවුන් ටික ගේමට ගේම. මමත් ඇරියෙ නෑ. කෙළවරටත් ළං වුණා. තාමත් කට්ටිය එක ගොඩේ. දැං පයින්නයි තියෙන්නෙ. ඔන්න පැන්නා... සරා.....ස්! ඒ මොකද්ද බං ඒ සද්දෙ? වෙන මොකද්ද? උඹල ඔය හිතනව වගේම මාව ඇදගෙන වැටුණ. හිනාවෙන්න එපා බං!...... ඔන්න වැටුණ ඉතිං! හරියට වලිගෙං අල්ලල කරකෝල විසි කරපු ගැරඬිය වගේ. මාව නිකං තද නින්දෙදි හීනෙං බය වෙලා බූරු ඇඳෙන් පතබෑවිච්ච එකෙක් වගේ මන්ද මෝල් වෙලා ගියා. මොකද උනේ? හැඟීම් දැනීම් නෑ වගේ! මූණෙ පැත්තකුත් නෑ වගේ. බිම දිගේ අඩි තුනක් ඇදිල ගිහිපු එකට ප්‍රතිචාර විදියට එක කම්මුලක් සම්පූර්ණයෙන් ම ලෙලි ගිහිං. කස්ටිය සේරම බය වෙලා.

          "මේ චාමරය තමා කකුල් මාට්ටුවක් දැම්මෙ" එකෙක් කියනවා. ඌ දැක්ක වගේ.

          "පිස්සුද බං මං මුකුත් කරේ නෑ"
 
          "නැත්තෙ මොකද? උඹ තමා මුගේ ලඟින් ආවෙ. මූ දැම්ම නේ බං කකුල් මාට්ටුවක්?"

                                       මූ මගෙන් මගුලක් අහනවා. මට මේ දැනුයි තෙරුණේ මම වැටුන කියලත්. මම දන්නෑ කියන්න ඔලුව වැනුවා.

          "මූ දැම්ම තමා" අරූ තාම කියනවා.

                                                           උන් ඕන රෙද්දක් කරගත්තුදෙන් කියලා මම තව දෙන්නෙක් එක්ක ගිහිං පිටිපස්සෙ ටැප් එකෙං මූණ හෝදගෙන පන්තියට ගියා. යනකොට අර අහිංසක මිනිහව ඇදගෙන මේ යක්කු ටීචර් ගාවට ගෙනිහිං. අම්මප මුං හොඳයි පොලීසියට. තුවාල වෙච්ච මං ගැනවත් බලන්නැතුව මුං නිකං හිටපු මිනිහෙක්ව මහේස්ත්‍රාත් උසාවියට කුදලං ගිහිල්ල. මට ඕව වැඩක් නෑ. මම හෝන්දු මාන්දු වෙලා ඉස්කෝලෙ ඇරෙනකං වාඩිවෙලා හිටියා. ඇරුණාම ටීචත් එක්ක ගිහිං වෑතර ඉස්පිරිතාලෙන් බෙහෙත් දාගෙන ගෙදර ගියා. ගෙදර ඉන්න කාලෙ මාව බලන්න අපේ සිරිමා ගංගොඩවිල ටීචයි, චාමරයගෙ අම්මයි තාත්තයි දෙන්නත් ආවා. උගේ අම්මයි තාත්තයි ඌව බය කරල කොයි වෙලේ හරි ගෙදරට පොලීසියෙං ඇවිත් අරගෙන යයි කියලා. මට වෙච්චි දේ හොඳයි වගේ!


      ප.ලි. :-

                     මුල ඉඳල ම මාව දිරිමත් කරපු ගැමි අයියවත් අඩුපාඩුවක් දැකල බලා නොඉඳ ඒක පෙන්නල දීපු හරී අයියවත් මාත් එක්ක ඉන්න අනිත් හැමෝමත් මට අමතක නෑ හරිය!

පින්තූරය ගත්තේ: මෙතනින්
Related Posts Plugin for WordPress, Blogger...