2012/02/25

වරදට දඬුවම්?




                                                                  8 වසරේ සිටියදී බට්ටාට පන්තියට යාම සඳහා තට්ටු දෙකක් පසු කර යා යුතු විය. එයින් අදහස් කරන්නේ පන්තිය තිබුණේ තුන්වෙනි තට්ටුවේ යන වග ටියුබ් ලයිට් එකකට වුවද වැටහේ. ඒ තට්ටුවේ අටේ පංති හතරක් තිබුණේ ය. මේ පන්ති හතරේ ම ගුරුවරු නොමැති අවස්ථා අඩු නමුත් එක පංතියක පමණක් ගුරුවරියක් සිටින අවස්ථාවක් උදා වූ දවසක මේ සිද්ධිය සිදු වූයේ ය. එදා කොල්ලන්ට රජ මඟුල් ය. ඒ ඌරන් කැකුණ තලන නිසා නං නොවේ ය. උන් හබන් කුකුලන් නිසාද නොවේ ය. ගුරුවරු නැති නිසා ය. දැං කට්ටිය බෙර ගසති. රොකට් යවති. හූ කියති. තව පිරිසක් සහයෝගයෙන්, සමාදානයෙන් ගුටි කෙළ ගනිති. මේ අතර අහිංසක බට්ටා මිතුරු කැළ සමඟ පැත්තකට වී බලා සිටී. එහා පංතියක උගන්නන්නේ කොච්චි මිරිස් කරලක් බව බට්ටා හොඳින් දනී. නැත්තං බට්ටාගේ අහිංසකකම බලාගන්නට තිබුණේ ය.
                                                                  මොහොතකින් මහ ගෝරණාඩුවක් සමඟ සියල්ල නිසල විය. නිහඬ බව මැදින් සියල්ලන්ගේ මවුපිය ගුණ ගැයෙන මියුරු වදන් පෙළක් ඇසෙන්නට විය. ඒ මිහිරි ස්වරය පන්තිය දෙසට එනු අපි ආසාවෙන් අසා සිටියෙමු.

                  "නැගිටපියව් සේරම කොල්ලො ටික!"

                                                                අහා! ඒ ස්වරයේ මිහිරි බව. ඒ වදනේ සොඳුරු බව. ඉතිං ඉඳගෙන ඉන්නේ කෙසේද? අපි සෘතියට අනුව එළියට ඇදුනෙමු. අපි එනවිට කොරිඩෝවේ සොඳුරු දසුනක් දකින්නට තිබිණි. දෙයියන්ගේ දානයට ඉඳගත් පිංවතුන් පිරිසක් සේ කොරිඩෝවේ එහා කෙළවරේ සිට මෙහා කෙළවර දක්වා කීකරු සිසුන් පෙළ ගැසී සිටියහ. අපිද සංවර ලෙස ඉඩ ඇති තැන්වලින් දෙයියන්ගේ දානයට ඉඳ ගතිමු. දණ ගසා ගත්තායැ'යි කීවද වරදක් නැත. දං වලඳමින් මොහොතක් සිටින විට එකා දෙන්නා ඇද ගහන්නට ගත්තෝ ය. කවුරු ඇද ගැහුවත් බට්ටා කෙලින් ය. මේ අතර බට්ටාට එහා පැත්තේ එක කකුලකට දුක් දෙමින් සිටි එකා උගේ පන්තියේ කෙල්ලන් සමඟ මුකුළු කරන්නට ගත්තේ ය. මුං මහා අමනයෝ ය. පිලිවෙළකට දානයකට ඉන්නවත් නොදන්නෝ ය.
                                                                  මොහොතකින් තම පංතියේ කොලු කෙලි පිරිසට ඉගැන්නීම නැවතූ  මියුරු හඬ පෞරුෂය මුකුළුවා දෙසට එන්නට ගත්තා ය. තම රාජකාරි මොහොතකට නැවැත් වූ මුකුළුවා ඇද ගහගත් ගමන් ම බිරන්තට්ටු වී බලා සිටියේ ය. බට්ටා තාම කෙලින් ය. තම ඉලක්කය අසලටම පැමිණි කොච්චි මිරිස් කරල දැවැන්ත හස්තය දිගහැර මුකුළුවා දෙසට වැනුවේ ය. ඒ මොහොතේ ම බට්ටා වන මගේ කණ කීං ගා ඇස් නිලංකාර වී ගියේ ය. පොඩ්ඩක් හිටු! ඌට ගැහැව්වා ම කොහොම්......අහ්! සොරි ය. බාසාව පොඩ්ඩක් එහා මෙහා වුණේ ය. ඕ තොමෝ අත වනා තිබුණේ මුකුළුවාට නොවේ ය. අසරණ මට ය. ඊට මොහොතක් ගිය පසු මගේ මූණ දෙස බලන්නෙකුට මියුරු හඬ පෞරුෂයේ විවාහක අවිවාහක බවද කිව හැකි විය. මන්ද යත් ඇය ඇගේ ඇඟිලි හතරට අමතරව මඟුල් මුදුවද මගේ මූණේ තබා ගොස් තිබුණා ය.


පින්තූරය ගත්තේ: මෙතනින්

13 comments:

  1. අපේ එකෙක් සර්ව බය කරන්න පොල්තෙල් ගාලා අතේ කෙස් ගහක් තිබ්බම අත පැලෙනවා කිව්වා..එතකොට පොලීසි යන්න...පොල්තෙල් ගාන්න උනා පස්ස පැත්තේ එදා ගැහුවේ අතට නෙමේ පස්සට...

    ReplyDelete
    Replies
    1. හික් හික්. සෑර්ලා රවට්ටන්න ගියාට හොඳ වැඩේ.. ඇත්තටම එහෙම අත පැලෙනවද?

      Delete
  2. සාටර් කොල්ලෝ ටිකක් අෆ්ෆා, අපි නම් හරි අහිංසකයි.... රටක් වටි...

    ReplyDelete
    Replies
    1. අනිත් උං එහෙම උනාට අපිත් අහිංසකයි තමයි අෆ්ෆා. දැං බලන්ට එදාට පස්සේ කවුරුත් මට මගුල් මුද්ද මූනේ හිටින්න ගහලා නෑනේ. :ඩී

      Delete
    2. පුතෝ අනාගතේ පරිස්සම් වෙයන් තව එක චෑන්ස් එකක් සෙට් වෙයි මගුල් මුද්දක් ඇති අතකින් කන්න

      Delete
    3. ඒ මොකද්ද බං අයියෙ ඒ චෑන්ස් එක?

      Delete
  3. මුකුළුවට ගහන්න ආපු මියුරු ඇයි බට්ටට ගැහුවෙ ?

    ReplyDelete
    Replies
    1. ඕ තොමෝ හිතුවෙ මම කතා කර කර හිටියැයි කියලා. ඇයි මම කොන්ද කෙලින් තියන් හිටපු එකානෙ. වැරැද්දෙන් බේරෙන්න එහෙම කරැයි කියල ඕ තොමෝ හිතන්න ඇති.

      Delete
  4. ලිවීම නම් උපරිමයි කොල්ලෝ සුපිරියි හිනා වෙමින් කියෙව්වෙමි....ඒ මියුරු ගුරුතුමිය කවුදැයි ඔළුව කරකවමින් කල්පනා කරන්නෙමි...අපේ කාලේ නම් ටීච කෙනෙක් නැති වෙච්චි ගමන් පන්තියම මල් වත්තක් වෙනවා

    ReplyDelete
    Replies
    1. තැංකූ අයියේ අගය කිරීමට. ඒ මියුරු ගුරුතුමිය වෙන කවුරුත් නොව ඔබත් මමත් හොඳින් ම දන්නා අපේ අයි.ටී. ගුරුතුමියයි. දැන් නං ඕ තොමෝ ඒ තරං සැර නෑ හැබැයි. ගොඩක් වෙලාවට හරි ම සුහදයි.

      Delete
    2. හප් පා.... මට හිනාව නවතා ගැනීමට බැරිය... මිස් කෙලපු කෙලිල්ල මැවි මැවි පෙනෙන්නාක් මෙන්ය... ඇය කෙලින හැටියට අත දිගහැර එල්ල කරන ලද පහරක් නොවිය යුතුමය.අත මිට මොලවා කවර් ඩ්‍රයිව් පහර දීමට ඇයට ඇත්තේ මහත් වූ කුසලතාවක්ය....

      Delete
    3. හික් හික්... කවර් ඩ්‍රයිව්. එදා නං ගැහුවෙ හතරෙ පාරක්. මුද්දත් එක්ක ගත්තොත් පහේ පාරක් කිව්වැකි.

      Delete
  5. ඔබගේ මෙම ලිපිය අප ඉතාමත් අගය කරන අතර හදුන්වාදෙන http://ads.sasroo.com හි සිංහල Per Per Click දැන්වීම් වැඩසටහන හි පබ්ලිශර් ගිණුමෙහි ලියපදිංචි වී අදම ඔබගේ වෙබ් අඩ්වියෙහි සිංහල දැන්විම් පළකර ඔබට මෙම සිංහල වෙබ් අඩ්විය මඟින් අමතර අදායමක් උපයා ගතහැකි බව සතුටින් දන්වා සිටිමු.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය පුස්කොලපොතේ අලුත් පිටුවක උපතයි!

Related Posts Plugin for WordPress, Blogger...