2014/04/24

අමෘතය







                      එකමත් එක රටක හිටපු මෝහන විද්‍යාඥයෙක් කොට ජීවිතයක් ගෙවපු පිරිමි ළමයෙක්ව මෝහනය කරා. එයාට ඕන වුණේ ඒ කොට ජීවිතේ පෙර ආත්මෙ මොන වගේ ද කියල බලන්නයි. එයා ඒ පිරිමි ළමයගෙන් ප්‍රශ්න අහන්න පටන් ගත්තා.

වි - හොඳයි. ඔයා කවු ද? කොහෙ ද ඉන්නෙ?

පි - මං දෙයියෙක්. ඉන්නෙ දිව්‍ය ලෝකෙ

විද්‍යාඥයගෙ කට මෙහෙම ඇරුණා. එයාට පුදුම හිතුණා. දැන් දිව්‍ය ලෝකෙ මොන වගේ ද කියල දැනගන්න පුලුවන්. එක එක ප්‍රශ්න අහන ගමන් එයා මෙහෙමත් ඇහුවා.

ඔයාට කොහොම ද දැනෙන්නෙ? මොනව ද පේන්න තියෙන්නෙ?

පි - උහ්.. මට බඩගිනියි. ලොකු බිල්ඩිමක් පේනවා. හරි ම නුහුරු ගතියක් තමා දැනෙන්නෙ. මං මෙහෙට අලුත්. මගේ ඉස්සරහට දෙයියෙක් ඇවිදන් එනවා. මං එයාට කතා කරන්නයි යන්නෙ.

වි - හා.. ඉතිං මොනව ද කියන්නෙ?

පි - “ ඒ යාළුවා! මෙහේ කැන්ටිමක් එහෙම නැද්ද? බඩගිනී බං. “ කියලා.

වි - ඉතිං?

පි - ඒකා මාත් එක්ක හිනාවෙලා අර ලොකු බිල්ඩිමට අත දික් කරලා ලතාවට කියනවා, “ මිතුර! තෙල පෙනෙන්නේ කප් සුවහස් කලක් තිස්සේ මෙම තුසිතයෙහි විරාජමානව වැජඹෙන මහ බොජුන්හල යි. නේකවිධ ලෙස පිළියෙල කරන ලද අමෘතය එහි හිඟ නො වේ. තොපට අවැසි වේලාවක ගොස් අවැසි තරම් අනුභව කරව!

වි - හා

පි - ඒක ඇතුළට යනවා මම. ඇතුළේ ලොකු බුෆේ එකක් වගේ. ලොකු මුට්ටි පේලියට තියලා බෝඩ් ගහලා.

වි - බෝඩ්? මොනව ද?

පි - අමු අමෘතය, තම්බපු අමෘතය, තෙම්පරාදු අමෘතය, අමෘත සුප්, කලවං අමෘතය... අම්මට හුඩු! ඇඬෙනවා බං. මුට්ටි කෝච්චියක්. මට හිතෙනවා මුලින් ම අමු අමෘතය කාලා බලන්න.

වි - හා හා එළ.. ඉතිං?

විද්‍යාඥයගෙ කුතුහලය අහස උසට නඟිනවා. ඇයි අමෘතය හදන විදිය හොයාගන්න පුලුවන් වුණොත් සෙල්ලංයැ. ලෝකෙ ම ප්‍රසිද්ධ වෙන්න වුණත් පුලුවන් වෙයි සමහර විට.

පි - ඉතිං මම ගිහින් මුට්ටියට එබෙනවා

වි - ඉතිං? මොන වගේ දෙයක් ද ඒකෙ තියෙන්නේ? මොනවයින් ද හදල තියෙන්නේ?

එතකොට ම පිරිමි ළමයා “හුග්!“ ගාගෙන ගැස්සිලා බය වෙලා ඇහැරුණා. එයා ඉහිං කනිං දාඩිය මුගුරු පෙරාගෙන මෙහෙම කිව්වා.

                                                              
                                                                  පරිප්පු බං!

2014/03/05

මැදින් දෙකඩ කෙරුවත් හද එයත් මදී ( ඕං ලිව්වා :D )





සිසිල් සුළං තුරු අතරින් හමා ඇදී
සුසුම් පවන් දෙන සිතුවම් හිතේ අඳී
සුනිල් නුවන් මුදු කෙහෙරැල් මතක රැඳී
සෙමින් සෙමින් උණු කඳුළැල් නෙතින් අදී


නොයෙක් රිදුම් දෙන හැඟුමන් කවෙන් සැදී
උලක් වෙමින් අනිමින් හද රිදුම් දිදී
ගොයෙක් සිහින් හඬ නඟමින් වනෙන් ඇදී
සියක් සුසුම් දෙන හැඟුමන් නො දෙන් යදී


සොවින් බරව ඇදෙමින් රන් රුවන් නදී
නදින් නපුරු විලසින් විත් සවන් වදී
රුවින් රුවට මතුවෙයි රුව නුවන් රිදී
මැදින් දෙකඩ කෙරුවත් හද එයත් මදී


නැඟෙයි කඳුත් තුරු මුදුනින් සෙවන හෙලා
නඟයි සියොත් කැල සෝ ගී සවන පෙලා
හෙලයි රිවිත් සිය කැලුමන් අවර බලා
දුරයි හෙටත් යන්නෙමි මම තනිය හෙලා



ඔන්න ලිව්වා :D
කීප දෙනෙක්ම වද කරා.. ඉතිං දවස් දෙක තුනක් තිස්සෙ දඟලල කොහොම හරි ලියාගත්ත.. හැමදාම ලියන වචන ටිකයි පරණ ආකෘතියයි ම තමා.. එහෙම හරි ලිව්වා මදැයි අවුරුද්දකින් :P
ලබන අවුරුද්ද දිහාත් මතක් කරවන්න ඕනැ එහෙනං.. මේක ඔබ තමුන්නාන්සේලගෙ බ්ලොග් එක නෙව.. :3

පින්තූරය ගත්තේ : මෙතනින්

2013/03/10

නිවුන්නන් වේ ය උහු..

ඈත දීපෙක
ඈත කාලෙක
විසුවා නිවුන්නෙක්
නිවුන්නියක්
සාමාන්‍යයි
උන්ගෙ ජීවිත

දිනෙක මරුවා
අමුතු වෙසකින්
පැමිණ උහු අතරට
හිටියොතින් උඹ
තවත් මූ ළඟ
මරණවා මූ
මරණවාමයි

තර්ජනය කර
නිවුන්නිට
පල යන්න තෝ
ඌව අතහැර


හැපී පොළොවේ
කඩා කෙස්වලු
කඳුලු නොහෙලා
සිනාසීගෙන
නික්මුණා ඈ
දමා අතහැර
සෝවුරා තම
බේරගන්නට
උගේ ජීවය

බිය නොවනු මැන
නිවුන්නිය
ඉටු කරමි ඔබ
පොරොත්තුව මම
වැටෙමි එනමුදු
විගස නැගිටිමි
අතැර නොයනෙමි
අරමුණ
සිටියත් නැතත්
ළඟින්
ඔබ
Related Posts Plugin for WordPress, Blogger...