2012/05/10

බාරොං බූරු කතාව

බොලවුනේ...! පුංචි කාලෙ සුරංගනා කතා අහල තියේද?? ආසද ආපහු අහන්න මේඩ් ඉන් ශ්‍රී ලංකා සුරංගනා කතාවක්... ඒත් වැඩ තියන අය කාලෙ නාස්ති කර ගන්න එපා ඈ..

මෙහෙමයි...
එක හැන්දෑවක හද්ද පිටිසර ගමක රැවුල දිග අසූව පැනපු සීය කෙනෙක් හාන්සි පුටුවක වාඩි වෙලා හිටියා... ඉන්නකොට අහල පහල සෙල්ලං කර කර හිටිය පුංචි එව්වො වගයක් සීය වටේට එකතු වෙලා නඩුවක් අහන්න පටාං ගත්තා..
"සීයෙ මූ කියනවා සත්තු වත්තෙ පැන්ඩල නෑලු" එකෙක් කිව්වා.. අන්න ඒක අහපු ගමන් සීයට හෙනට මල පැන්නා 
"පැන්ඩ?? මතක් කරන්න එපා බොලවු ඕකව... ආව මෙතන මගුලක් කතා කරන්න.. පල කිව්වෙ"  
"ඒ මොකද බං??" පොඩි එකෙක් ලඟ හිටිය එකෙක්ට කෙඳිරුවා....
"ඇයි සීයෙ?" එක පොඩි එකෙක් බයෙන් වගේ ඇහුවා...
"ඕකා අපේ පරම්පාරාවෙ හතුරෙක්"
"ඒ මූට පිස්සුද බං?? පැන්ඩ කියන්නෙ හෙන අහිංසක සතෙක්නේ" අර පොඩි එකා ආපහු ලඟ හිටිය එකාට කෙඳිරුවේ වෙන කාටවත් නෑහෙන්න..
"ඒ මොකෝ සීයෙ ඒ? පැන්ඩ මක් කරාටද? "
"ඔය එහෙං මෙහෙං ඈඳි ගං එහෙනං කියන්න කතාව...."
පොඩි උන් ටික ඉඩ තියන තැන් බලල හොඳ සැප පහසුවට වාඩි උනේ කතාව දිග උනොත් එහෙම කියලයි...
සීය කතාව පටං ගත්තා....
"දැන් ඔන්න බොලං අපේ සීය ඉන්නවනේ... දැන්නං නෑ... ඉස්සර හිටියලු.. අන්න ඒ සීයගෙ සීයට හිටිය මාම කෙනෙක්.."
"ඒ මාම සීයට කවුද වෙන්නේ? " පොඩි එකෙක් මැදට පැන්නා...
"වහපිය කිව්වෙ කට" සීයගෙ සද්දෙට ඌ  කට වහගෙන පැත්තකට උනා...
"ඒ මාමගෙ මල්ලිගෙ පුතා බැඳල හිටිය කෙනාගෙ බාප්පට හිටිය එක පුතෙක් කසාද බැන්දා... ඒ පුතාගෙ යාලුවෙක් හිටියා ආරොං කියලා.. මේ ආරොංගෙ මුත්ත බැඳල හිටිය නෝනගෙ අම්ම බැඳල හිටිය එක්කෙනාගෙ දුවගෙ මාමට යාලුවෙක් හිටිය බාරොං කියලා... "
මේ කතාව අහන්න වාඩි උන පොඩි උන් දෙන්නෙක් තුන් දෙනෙක් ඔලුවෙ අත ගහත්තා... අනිත් උන් කට ලොකු කරල ඇරගෙන සීයගෙ දිහා බලාගෙන හිටියෙ කන්න වගේ...
"හොඳ වෙලාවට බං මම වාඩි වෙලා හිටියෙ" අර පොඩි එකා ආපහු ලඟ හිටිය එකාගෙ කනට කතා කරා..
සීය කතාව පටං ගත්තා...
"අන්න ඒ බාරොං ඒ දවස් වල හිටියෙ මැටි ගහල හදපු ටිකක් ලොකු ගේක...මිනිහ කසාද බැඳලා තමා හිටියෙ.. ළමයි හිටියෙ නෑ... ටිකක් වයසයි පොරට ඒ කාලෙත්.. මාත් එක්ක එකට ඉස්කෝලෙත් ගියා ඉස්සර.."
ඒක අහල පොඩි උන් පුදුම උනා.. උඹලටත් වැඩිය උන් පුදුම උනා... ඒත් සීය ඒක ගනන් ගත්තෙ නෑ.. කතාව කිව්වා..
"එක පුටුවෙ වාඩි වෙලා අපි අකුරු ලියපු හැටි මතක් වෙනකොට මේ දැනුත්... මේ දැක්කද... මේ.. කඳුලු එනවා...." සීය කඳුලු වලින් තෙමිච්ච ඇස් දෙක පෙන්නුවා.. ඒ වෙලාවෙ පොඩි උන් දෙතුන් දෙනෙකුගෙත් ඇස් වල කඳුලු පිරිල තිබුනා... සීය කතා කරා..
"ඔන්න ඉතිං මේ බාරොං ගම මහගේත් එක්ක හේනක් කොටාගෙන ඉන්නකොට මැයි මාසෙ ආවා... ඒ කියන්නෙ මේ වගේ වෙසක් මාසෙ.. ආවාම දැන් නිකන් ඉන්නත් බෑනෙ.. කූඩුවක් දෙකක් හදන්න එපෑ.. ඉතිං බාරොං ගම මහගෙට කතා කරා"
"මේ යෝදියෙ... අර කම්මලේ ගලේ ගාල හදපු කැත්ත ගං මෙහෙට්ට... මට දහාටපට්ටමක් හදන්න පල්ලෙහැයින් බට ගහක් කපාන එන්ට"කියල කිව්වලු...
ඒත් දැන්... ගම මහගේ සද්දයක් නෑලු...ඉතිං බාරොං කිව්වලු...ඉස්සෙල්ලට වඩා හයියෙන්..
"ඕයි ගෑනියෙ...!! අර කම්මලේ ගලේ ගාල මුහාත් කරාපු ලොකු කැත්ත ඇන්න වර මෙහෙට්ට!"
අන්න ඒ සැරේ ගම මහගේ කැත්තත් දෑතින් අරගෙන ආවලු බාරොං දිහාවට... බාරොං ඉතිං සිංහය වගේ ඉස්සරහට ගිහිං මීය වගේ කැත්ත අතට ගත්තලු.. කියන්න බෑනේ... මේ ගෑනි පරන තරහක් අල්ලල කැත්තෙන් පත බෑවොත් එහෙම.. ???" සීය කියනකොට වහගන්න බැරි හීනි හිනාවක් ගියා පොඩි උන් ටිකට... සීය කතාව කියනවා තාමත්..
"දැන් බාරොං උන්නැහේ කැත්තත් අරගෙන වත්තට යනකොට පෙත්තෙක් ඉඳගෙන කජු කනවලු... ඉතිං පෙත්ත කජු කෑවට කමක් නෑ කියල බාරොං ගියාලු වත්ත පහල බට ගහ ලඟට... යනකොට....අඩේ අන්න බට ගස් පඳුරම නෑලු.. තිබ්බ තැනක් වත් නෑලු හොයාගන්න... දැන් බාරොං උඩ බිම බලනවලු මොන මගුලක්ද මේ කියලා.. අන්න එහෙම බලනකොට අර උස බිලිං ගහ මුදුනෙ කවුද දන්නවද හිටියෙ??" සීය හයක් හතරක් නොදන්න පුංචි එව්වොන්ගෙන් ඇහුවා..
"ඔව්" එකෙක් කිව්වා...
"පැන්ඩා" පිටිපස්සෙ වාඩි වෙලා හිටිය එකෙකුත් කෑ ගැහුවා..
"බම්බුව... ගහ උඩ ඉන්නවලු තඩි බූරුවෙක්..." සීය කියනවා..
"ගහ උඩ බූරුවෙක්??" එක පොඩි එකෙක්ට කියවුනා...
"අන්න එතකොට බාරොං කැත්ත උරුක් කරල බූරු තඩියගෙන් ඇහුවලු..
"කවුද යකෝ මගේ බට පඳුර කෑව වල් බූරුව?" කියල.. ඉතිං බූරුව වෙව්ල වෙව්ල කිව්වලු... "අනේ මගෙ හාංදුරුවනේ.... මම තමයි කෑවෙ" කියල..."
"තෝ මොකද ගොං බූරුවො බට කෑවෙ... ?? බූරුවො බට කන්නෙ නෑනෙ" කියල බාරොං කිව්වලු...
"අනේ හාංදුන්නේ... මම ඉස්සර කෑවෙ බත් විතරයි... මට දවසක් දෙහිවල සත්තු වත්ත බලන්න ගිය වෙලේ යාලුවෙක් හම්බුනා... ඌ පැන්ඩෙක්... ඕක තමයි මට බට කන්න පුරුදු කරේ..." කියල අන්න බූරු තඩිය කිව්වලු... "
"ඉතිං දැන් කවුද වැරදි?? අර පැන්ඩනේ වැරදි... ඕක තමයි සේරම කරල තියෙන්නෙ..."
"අන්න එදා ඉඳං මම අර කිව්ව නෑදෑ කම් වල පිළිවෙලට පැන්ඩ අපේ පාරම්පරික හතුරෙක් උනාලු.. කියල තමයි ඉතිහාස පොතේ රන් අකුරින් ලියවිලා තියෙන්නෙ.." ඔන්න සීයට කතාව කියවල ඉවර වෙනකොට නින්දත් ගිහිල්ලලු....

ප.ලි.
     දැන් මට බනින්න එපා අඩාලා... මම කලිම්ම කිව්වනේ වැඩ තියන උං බලන්න එපා කියලා.. :P

(මූණු පොතේදී මගේ අක්කා හා අයියා සමඟ කළ චැට් එකක් ඇසුරිණි )

2012/04/05

ඇරපං යකෝ දොර......





විඳින්නට වෙනසක්
පිරෙන්නට ජීවිතය
නොවන්නට වෙහෙසක්
හැරයන්න මතකය
තැත් දරන නමුත් මා
දෙවසරක් පුරා සිට
නොමැත මට ගැළවුමක්
හදවතේ කොනක සිට
එබෙයි ඈ තවමත්

කටු සහිත පාවහන්
පැළඳගෙන ඇවිදිමින්
අත නෑර එකදු බිම් අඟලක්
සක්මනෙහි යෙදෙයි ඈ හදවතේ

හද මැදුර තුලට පැන
වසාගෙන දොර ජනෙල්
එබෙන්නට බැහැ මටත්
මගේ හදවත තුලට

ඇරපං යකෝ දොර
අඩු ගානෙ ජනේලයක්වත්
ඇතුළට එන්න මට
ඔප්පුව මා සතුයි
හෙටම මම දමමි නඩු
තොට ඕනෙ හිරේ යන්නද?
එළියට බැහැල පල ගෙදර.....

ප. ලි. :
              මට දැනගන්න ඕනෙ එකම දෙයයි... මේක නිසඳැසක්ද නැද්ද කියපල්ලා කරුණාකරලා....
ඊට අමතරව ඇත්තටම හිතට දැනුණ දේ විතරක් ලියල ගියාට කමක් නෑ...

 පින්තූරය ගත්තේ : මෙතනින්

2012/03/21

අපූරු දඬුවම් ඔබත් විඳල තියේද?

                                                   උන් දෙන්න බොහොම පුංචිවට විහිලුවකින් පටං ගත්ත රණ්ඩුව ටිකක් දුර දිග යන ගතියක් පෙනුණා. මුලින් හිනාවෙන් කියවුණු වචන දැන් ටිකක් අමුතු ස්වරේකින් පිටවෙන්න අරං. අපේ පන්ති හතරම තිබුණෙ එක හෝල් එකේ නිසාත් ඒවා මනඃකල්පිත මායිම් වලින් විතරක් වෙන්වුණු නිසාත් අපිට ඕනෙ වෙලාවක එහා කෙරෝලෙම පන්තියෙ ඉන්න ගෑල්ළමයෙක්ගෙ වුණත් මූණ බලන්න පුලුවන් වෙලා තිබුණා.. ඒ නිසා ඕන ම කෙනෙක් සද්දෙට වචනයක් කිව්වොත් ඒක අහන්න දුර පන්තියෙ එකෙක්ට ආයාසයක් ගන්න ඕනෙ වුණේ නෑ.. මේ කට හොඳ නැති එවුන් කෑගහන අස්සෙ වාසනාවකටද මන්දා ඒක අහන්න ගුරුවරයෙක්ට කියලා හිටියෙ එහා පන්තියෙ සිංහල උගන්නන මිස් විතරමයි.. ඒ මිස් කට ඇරගෙන මේ විලි ලැජ්ජා නැතුව එකසිය ගානක් ළමයි අතර අසැබි වචනෙන් කෑ ගහන මී හරක් දෙන්න දිහා බලං හිටියා. මේ වෙලාවෙ රතු ඉර බලෙන්ම වගේ පන්නගත්ත එක චන්ඩියෙක් තමන්ගෙ ප්‍රතිවාදියට කම්මුල් පාරක් ප්‍රදානය කරා.. ගෑල්ළමයි සිය ගානක් මැද නිවට වෙන්න අකමැති වුණු අනිත් එකා පුරුදු වචන පේලියත් එක්ක ම පළවෙනි ප්‍රහාරකයගෙ ඇඟට කඩාගෙන පනිද්දි ඒ වෙනකොට පන්ති නායකය වෙච්ච මට බලාගෙන ඉන්න බැරි වුණා..

                        "ඒයි ඕක නවත්තපන් රංගයා" මම එකෙක්ව පැත්තකට අදිද්දි අනිත් එකාව අල්ලගෙන කට්ටියම මට සහය දුන්නා.

                        "උඹලට පේන්නැද්ද යකෝ එහා පන්තියෙ මිස් කෙනෙක් ඉන්නවා..නවත්තපං ඔය කුණුහරප කිවිල්ල"

                                                                    රණ්ඩුව නවත්තන එක එච්චර අමාරුවක් නැතුව කරගත්තත් පීරියඩ් එක ඉවර වෙලා මොහොතකින් අංශ බාරව හිටපු සර් පංතියට ආවා.

                          "කෝ මොකාද ගහගත්තේ? මේ පන්තියෙ නේද?" මට නැගිටින්න උණා..

                           " ඔව් සර්...! දැන් ඒක ඉවරයි සර්!"

                           "කවුද ගහගත්තේ?"

                           "අව්ලක් නෑ සර්.... ඒක බේරගත්තා දැන් මුකුත් ප්‍රශ්නයක් නෑ" කොහොම උණත් මට පාවල දෙන්න හිත දුන්නෙ නැති නිසාම මං කිව්වා.

                           "මං දන්නෑ.. අන්න අර මිස් ගිහිං ප්‍රින්සිපල්ටත් කියලා..දැන් උඹලම බේරගනිල්ලා" සර් ගිහින් මොහොතකින් පොඩි කොල්ලෙක් පන්තියට ආවා..

                           "මේ පන්තියෙ පන්ති නායකට අන්න ප්‍රින්සිපල් එන්න කිව්වා"

                           "මං කිව්ව උඹලට.. දැන් හරිනෙ ආතල් එක? මට තමා දැන් කෙලවෙන්නෙ.." මම කේන්තියෙන්ම රංගයට කියලා අධිකරණයට ගියා.. ප්‍රින්සිපල් වේවැල අතේ තියාගෙන අංශ බාර සර් එක්ක කතාව...

                            "ආ! මේ එන්නෙ ලොකු බුවා" අංශ බාර සර් එහෙම කියනකොට මට තේරුණා මොකද්දෝ අවුලක් තියන විත්තිය..

                            "කෝ? තමුසෙල මොකද මේ පන්තිය මැද්දෙ කුණුහරප කිය කිය ගහගන්නෙ? අල්ලපං අත! අර අහින්සක ගෑල්ළමයින්ට ඉස්කෝලෙ එන එක එපා කරන්නද තමුසෙල හදන්නෙ?"

                                                                 ඒ අන්තිම වාක්‍යයට "අනේ මොකටද මගේ කට" කියන්න හිතුණත් ඒක නොකිය නිදහසට කරුණු කියන්න හදනකොට අහක ගිහිපු මිස් කෙනෙක් ප්‍රින්සිපල්ට මොකද්දෝ කිව්වා.. සර් ඒ පැත්තට හැරිච්ච අවසරෙන් මං අ.බා. සර්ට කාරණාව පැහැදිලි කරා..

                            "සර් මං දැක්ක විතරයි සර්! ගහගත්තෙ නෑ!" ප්‍රින්සිපල් කතාව නවත්තල මේ පැත්ත හැරුණේ එවෙලෙ.

                           "ආ! සර් මූ ගහගෙන නෑ.. මූ ඇහින් දුටු සාක්ෂි කාරයෙක් විතරයි!"

                           "ආ! මෙයා ගහගෙන නැද්ද? එහෙනං කවුද ගහගත්තෙ? ගිහින් එන්න කියනව පන්තියෙ සේරම පිරිමි ළමයින්ට.." මං ගිහින් කට්ටිය එක්කං ආවට පස්සෙ පුංචි දේශනයක් තිබුණා.. උ/පෙ කොල්ලො ගහල හදන්න බැරි බව දැනං හිටිය අපේ කලිං හිටිය ඒ ප්‍රින්සිපල් තුමා මං ජීවිතේ විඳපු හොඳම හා රසවත්ම දඬුවම අපිට දුන්නා...

                           "දැන් තමුසෙල සේරම මෙතන ඉඳන් අතෙන්ටයි, එතන ඉඳන් මෙතෙන්ටයි වට 20 ක් දුවන්න ඕනෙ.. ඉක්මනට ඉක්මනට!" සෙක්ශන් එක ඉස්සරහ දුවන එක ලැජ්ජයි තමා.. ඒත් බලන්න ඒ දඬුවමේ හැංගුණු බුද්ධිමත් කම.. වට පහළවක් විතර දිව්වම අනුකම්පා කරපු සර් ඊළඟට කට්ටිය නවත්තලා මෙහෙම කිව්වා.

                           "හා! දැන් ෆ්‍රොග් ජම්ප් එක දාන්න" කිව්වට කවුරුත් දන්නෑ ඒ මොකද්ද කියලා.. ඉතින් සර් අත් දෙක ඔලුව පිටිපස්සෙන් තියාගෙන දනහිස් දෙකෙන් නැවිලා දෙතුන් පාරක් පැනලම පෙන්නුවා. ෆ්‍රොග් ජම්ප් එක පැනල ඉවර වෙනකොට එකෙක්ට හොඳටම අසනීප උණ එකත් සර් හොඳටම කලබල වෙලා සර්ගෙ සල්ලිවලින්ම බෙහෙත් අරන් දීල ගෙදරටම ඌව ගිහින් දාපු එකත් මෙතන නොලිය ඉන්න එක හොඳ නෑ.. කොහොම උණත් බලන්න පොඩ්ඩක් මුලුන්ම කියපු ගුරුවරියගෙත්, අ.බා. සර්ගෙත්, අපේ කලින් හිටපු ඒ ප්‍රින්සිපල්ගෙත් චරිත තුන කොයි තරං එකිනෙකට වෙනස්ද කියලා. කවුද වැඩිය හොඳ කියන එකේ තීරණය ඔබට බාරයි...


ප.ලි.:
        අද පොඩ්ඩක් වෙනස් විදියක් ට්‍රයි කරපු නිසා කියවන්න කම්මැලි වගේ හිතුණනං සමාවෙන්ඩ ඕනෙ..! පහළ අදහස් අවංක වෙයි කියලයි බලාපොරොත්තුව..

 පින්තූරය ගත්තේ: මෙතනින්
Related Posts Plugin for WordPress, Blogger...