මං කතන්දර ලියන්න උත්සාහ කරේ පොඩි කාලේ ඉඳන් ම යි. හැබැයි අද වෙනකොටත් ලියල ඉවර කරපු කතන්දරයක් නං නෑ. ලියපු කොටස් වුණත් මට තෘප්තිමත් වෙන්න බැරි තරං අසාර්ථක ඒවා. මම 2010 වෙනකොටත් මොන ම වෙලාවකවත් කවියක් ලියන්න මට ම හිතිලා උත්සාහ කරේ නෑ.
2010 අවුරුද්දේ මැද හරිය පහු වුණ ගමන් මම වක්කඩේ හංගපු හකුරු ටික උස්සපු හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්න තැන ගැටගහල හිටිය ගොනා ගහෙන් වැටුණ මිනිහට ඇන්නැහේ හිටි ගමන් කවියක් ලිව්වා.. ඒ ඇයි? මොකද කියනවනං ආ... අන්න ඒ හේතුව නිසා තමයි. වාර්තා පොතේ සටහන් වෙනවා ඒ මුලින් ම ලිව්ව දවස 2010-08-01 හැටියට. පරණ කොළ ගොඩක් අස්සෙ තිබිලා මට හම්බුණ ඒ වගේ මුල් කාලීන කවියකින් පුස්කොලපොත කලු මදින්න හිතුණා අර මුලින් ම කවිය ලිව්වා වගේ ම. :3
නන් දෙසින් හමනා වු මදනල පැවසුවා රහසක් හෙමින්
හදේ සැඟවූ ජීවිතය ගෙන පලා ගිය බව ඈ හොරෙන්
හදවතත් ඉරි තලා ගිය කල ජීවිතය නැති පාලුවෙන්
දිවිය නැති හදවතක් කුමට ද සමුගනිමි මා ලෝකයෙන්
සදාකල් මා දිවිය රැකගෙන සිටින බව කීවත් ළඟින්
මලින් ගිලිහෙන පිණි පොදක් ලෙස නික්මුණා ඈ මා කෙරෙන්
නිදි ලොවේ මගෙ සිහින ළඟ ඈ සිටින මුත් ඉහ ඉද්දරින්
ඔබ නොමැති ලෝකයේ සතුටක් නොමැත සමු දෙනු මැන ඉතින්
- 2011-02-27